මනුෂ්‍යත්වය සොයා යමි

Thursday, April 12, 2012

පරිත්‍යාගය

මං එදා උදේ බස් එකට නැග්ගෙ, අම්මාව බලන්න ඉක්මනට ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන. මගේ අතේ අම්මාට උදේට කන්න ගෙනියන්න ඉඳිආප්ප පාර්සලයකුයි, කිරිහොදි දාපු භාජනේකුයි තිබුණා. පාන්දර 5 ට කොළඹ යන බස් එකේ මට වාඩිවෙන්න සීට් එකක් ලැබුණා. අම්මාගේ කෑම එක ඉහිරෙන්නෙ නැතුව පරිස්සමට ගෙනියන්න සීට් එකක් ලැබුණු එක ලොකු දෙයක්.
කහතුඩුවේ හන්දියේ බස් එක නතර කළා. දරුවෙක් ලැඛෙන්න හිටපු ගෑණු ළමයෙකුයි, එයාගේ මහත්තයායි බස් එකට නැග්ගෙ ඒ වෙලාවේ. මම ඉක්මනට නැගිටලා වාඩිවෙන්න ඉඩ දුන්නා. බඩදරු අම්මා කෙනෙකුට මගේ අතේ තිබුණු කෑම පාර්සලේවත් දීලා බරක් වෙන්න මගෙ හිත ඉඩ දුන්නේ නෑ. බස් එක පුදුම වේගෙන් කොළඹට ගියේ. සෙනගත් එන්න එන්නම වැඩිවුණා. කෑම පාර්සලය එහෙට මෙහෙට වේගෙන් පැද්දුණා.
 පිළියන්දලදී, අර ගෑණු ළමයාට එහා පැත්තේ හිටපු මනුස්සයා බැස්සා. මම එතනින් වාඩිවෙන්න හදනකොටම ඒ ගෑනු ළමයා මට කිව්වා, "මෙතන මගේ හස්බන්ඩ්ට ඉඳගන්න ඉඩ දෙනවාද?" කියලා මම නිහඩ වුණා... එයාගේ හස්බන්ඩ් ඇවිත් සීට් එකෙන් ඉඳගත්තා. මම කෑම එකත් අතේ තියාගෙන තාම හිටගෙන. බස් එක විදුලි වේගෙන් ආපු හින්දා 5.50 වෙනකොට ටවුන් හෝල් වලින් බැහැගන්න පුළුවන් වුණා. මම පුළුවන් තරම් ඉක්මනට අම්මාව බලන්න ඉස්පිරිතාලෙට ගියා.
මං කෑම එක ගේනකම් අම්මා බලාගෙන ඉන්නේ. මම වාට්ටුවට ගිහින් අම්මාගෙ ඉස්සරහ කෑම එක දිග ඇරියා. අනේ දෙයියනේ කිරිහොදි ටික ඔක්කොම ඉහිරිලා. අමාරුවෙන් ඉඳිආප්ප ටික විතරක් එළියට ගත්තා. ඒත් හොදි නැතුව ඉඳිආප්ප විතරක් අම්මාට කන්න දෙන්නෙ කොහොමද? අම්මා කවදාවත් කඩේ කෑම කන්නේ නෑ.
අම්මා මං දිහා බලලා, ඇස් පුංචි කරලා ආදරෙන් හිනා වුණා.
 "කමක් නෑ මගේ පුතේ, මං ඉදිආප්ප ටික නිකම් කන්නම්" ඒ වෙලාවේ මට ඇතිවුණු හැඟීම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මේ ලොකේ හැම අම්මා කෙනෙක් ගැනම මගේ හිතේ තිබුණේ පුදුමාකාර ගෞරවනීය හැඟීමක්. උදේ බස් එකේදී සිද්ධවුණු සිද්ධියද මේ හැමදේටම මුල කියලා මට හිතුණා.

 මේ වගේ දේවල්වලට මහමගදී ඔබත් මුණදීලා ඇති. ඔබේ පරිත්‍යාගශීලිභාවය කෙනෙකුට ලොකු පිහිටක් වෙන්න පුළුවන්. ඒත් තවත් වෙලාවක ඔබටම කරදරයක් වෙන්නත් පුළුවන්. ඔබට මොකද හිතෙන්නේ?

0 අදහස් Comments::

Post a Comment

නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-