මනුෂ්‍යත්වය සොයා යමි

Monday, April 2, 2012

'The Hands' සිතුවම්

හලොස් වන සියවසේ ජර්මනියේ නියුරම්බර්ග් නගරයට ආසන්නයේ පිහිටි කුඩා ගම්මානයක දරුවන් දහ අටදෙනෙකුගෙන් සමන්විත වූ පවුලක් විසූහ.. දරුවන් දහ අට දෙනෙකුගෙන් සමන්විත වූ විශාල පවුල නඩත්තු කිරීමට මහත් වෙහෙසක් ගත් රන්කරුවෙකු වූ පියා දිනකට පැය දහ අටකට ආසන්න කාලයක් රැකියාවේ යෙදුනේය.
කෙතරම් දිලිදු තත්වයක සිටියත් පවුලේ පිරිමි දරුවන් දෙදෙනෙකුට එක් සිහිනයක් විය. එනම් ඔවුන් දෙදෙනා මහත් සේ දස්කම් දැක්වූ චිත්‍ර කර්මය වැඩිදුරටත් හදාරා දක්‍ෂ චිත්‍ර ශිල්පියන් වීමේ ආශාවයි.නමුත් තම පියාට තමන් දෙදෙනාව අසල පිහිටි නියුරම්බර්ග් නගරයේ චිත්‍ර කර්මය උගන්වන පාසලකට යැවීමට තරම් වත්කමක් නොමැති බවත් ඔවුන් දෙදෙනාට හොදින් වැටහුනි.
දින ගණනාවක තර්ක විතර්ක වලින් පසු ඔවුන් දෙදෙනා සම්මුතියකට එලබුනි,ඒ අන් කිසිවක් නොව කාසියක් උඩ දැමීමටයි. ඉන් ජයග්‍රහනය කරන්නා නියුරම්බර්ග් නගරයේ විත්‍ර කර්මය උගන්වන පාසලට චිත්‍ර හැදෑරීමට යන අතර පරාජය වන්නා ඔවුන්ගේ ගම්මානය අසල පිහිටි පතල්වල සේවය කර අනෙකාට යන වියදම් දැරිය යුතුය. වසර හතරක් අවසානයේ පතල් වල සේවය කරන සහෝදරයා නියුරම්බර්ග් නගරයට ගොස් චිත්‍ර කර්මය හදාරන අතර චිත්‍ර කර්මය හදාරා අවසන් සහෝදරයා ඔහුට යන වියදම් සියල්ල සැපයිය යුතු වේ.
පසු දින උදෑසන පවුලේ සියලු දෙනා ඉදිරියේ කාසියක් උඩ දැමූ අතර ඉන් ජයග්‍රහනය කලේ ඇල්බ්‍රෙච්ට් ඩුයර්ය පරාජය වූයේ ඇල්බර්ට් ඩුයර්ය. ඇල්බ්‍රෙච්ට් නියුරම්බර්ග්හි විත්‍රකර්ම පාසල වෙත පිටත් වූ අතර ඇල්බර්ට් තම සහෝදරයාට අවශ්‍ය වියදම් සෙවීම සදහා අසල පිහිටි භයානක පතල්වල සේවය කිරීම සදහා පිටත් විය.
ඊළග වසර හතර පුරාවට ඇල්බර්ට් පතල් වල සේවය කරමින් ඉන් උපයන සියළුම මුදල් තම සහෝදරයා වන ඇල්බ්‍රෙච්ට්ට යැවූ අතර ඇල්බ්‍රෙච්ට් චිත්‍ර පාසලේ වූ දක්‍ෂතම සිසුවා ලෙස සාර්ථකව අධ්‍යාපන කටයුතු වල නිරත විය.. ඇල්බ්‍රෙච්ට්ගේ සිතුවම් ඔහුගේ ගුරුවරුන්ගේ සිතුවම් වලට වඩා අනර්ඝ වූ අතර වසර හතර අවසාන වන විට සිත්තරෙකු ලෙස සේවය කිරීමෙන් සැලකිය යුතු මුදලක් ඉපයීමට ඔහු සමත් විය.
ඇල්බ්‍රෙච්ට් ඩුයර් වසර හතර අවසානයේ තම ගම්මානය වෙත ලගා විය. සෑහෙන කලකින් තමන් වෙත පැමිනි ඇල්බ්‍රෙච්ට්ව පිලිගැනීමට එදින රාත්‍රී නිවසේ කුඩා සාදයක්ද පැවැත්වුනි. සියලු දෙනා ප්‍රීති වූ අතර අවසානයේ තමා වෙනුවෙන් වසර හතරක් පුරා පතල් වල දුෂ්කර දිවියක් ගෙවූ සහෝදරයා වෙනුවෙන් සව්දිය පිරීමට ඇල්බ්‍රෙච්ට් නැගී සිටියේය.
"ඉතින් දැන් මගේ මල්ලී ඇල්බර්ට්ට පුලුවනි නියුරම්බර්ග් වලට ගිහිල්ලා චිත්‍ර කර්මය ඉගෙන ගන්න,මම ඔක්කොම වියදම් දරනවා මල්ලී වෙනුවෙන්"ඔහු පැවසුවේය.
සියලු දෙනාගේම දෑස් ඇල්බර්ට් වෙත යොමු විය.. ඇල්බර්ට්ගේ සිදුමැලි මුහුන මතින් කදුලු ගලා යන්නට විය,සිහින් ඉකිබිදුමක් ඇසුනු අතර ඔහු "බෑ... බෑ...බෑ..." යනුවෙන් නොනවත්වා පවසන්නට විය.
මද වේලාවකින් ඇල්බර්ට් නැගී සිටි අතර කදුලු පිසදමා තමා දෙස බලා සිටින තම පවුලේ සියලු දෙනා දෙස බැල්මක් හෙලූ ඔහු අවසානයේ ඇල්බ්‍රෙච්ට් දෙස බලා මෙසේ පවසන්නට විය
"නෑ අයියේ මට නියුරම්බර්ග් යන්න බෑ...මම පරක්කු වැඩී. බලන්න අවුරුදු හතරක් පතලේ වැඩ කරපු මගේ අත් වලට වෙලා තියන දේ,ගල් වලට අහු වෙලා කැඩුනු නැති ඇගිලි පුරුකක් මගේ අත් දෙකේ නෑ,අයියත් එක්ක සව්දිය පුරන්න මගේ දකුණු අතින් වීදුරුවක්වත් ඔසවන්න හැකියාවක් මට නෑ,ඉතින් මම කොහොමද සියුම් චිත්‍ර අදින්නේ. ඒකට කමක් නෑ අයියේ,අයියා දක්‍ෂ චිත්‍ර ශිල්පියෙක් වුන එක ගැන මට ගොඩක් සතුටුයි"
පසු දිනක ඇල්බ්‍රෙච්ට් ඩුයර් වසර හතරක් පුරා පතලක දුක් විදිමින් සේවය කර තමාට චිත්‍ර ශිල්පියෙකු වීම සදහා මුදල් සැපයූ තම ආදරණීය සහෝදරයාගේ දෑත් සිත්තමට නැගූ අතර එයThe Hands යනුවෙන් නම් කලේය.
එදා සිට මේ දක්වා වසර 450කට ආසන්න කාලයක් ගෙවී ගිය අතර ඇල්බ්‍රෙච්ට් ඩුයර්ගේ කලා කෘති ලොව පුරා සෑම ප්‍රධාන කෞතුකාගාරයකම කලාභවනකම ප්‍රදර්ශනය කෙරේ. නමුත් ඔහුගේ සිතුවම් පිටුපස සැගවී ඇති සහෝදරයෙකුගේ උතුම් ආදරය පිලිබදව දන්නේ කී දෙනාද?

0 අදහස් Comments::

Post a Comment

නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-