මනුෂ්‍යත්වය සොයා යමි

Wednesday, March 21, 2012

පාන් ගෙඩිය

ය සෑම දිනකම තමා කෑම සඳහා පුච්චා ගන්නා පාන් ගෙඩියට අමතරව තවත් අමතර පාන් ගෙඩියක් පුච්චා එය නිවසේ ජනෙල් පඩිය මත තබන්නට පුරුදුව සිටියේ ඒ අසලින් පාරේ යන බඩගිනි අයෙකුට එය ආහාරයක් වේවා යන ප්‍රාර්ථනාවෙනි.
 ඒ අසලින් ගමන් ගත් විරූපි වකුටු ගැසුණු මිනිසෙකුද පුරුද්දක් සේම ඇය මෙසේ තබන පාන් ගෙඩිය රැගෙන යන්නට පුරුදු වූවා. නමුත් ඔහු කිසිදිනෙක ඇයට ස්තූති කරන්නට සිතුවේ හෝ නෑ. ඔහු කල එකම දේ නම් එසේ පාන් ගෙඩිය රැගෙන පිටව යන අතරතුර මෙසේ පැවසීම පමණයි. ''උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා'' 

මෙසේ සෑමදාම ඇය සාදා තබන පාන් ගෙඩිය රැගෙන යන මේ විරූපි මිනිසා ඇයට කිසිදිනෙක ස්තූති නොකිරීම ගැන ඇයට දිනෙන් දින ඇති වුනේ කෝපයක්. දිනක් ඇය ඒ තරහා අවසන් කරන්න සිතුවා, ඇය දෙවනුව පුච්චන පාන් ගෙඩියට වස එකතු කොට ජනෙල්‍ පඩිය මත තැබුවා. ඒත් මොහොතක් යෑමට මත්තෙන් ඇය මේ කරන්නට යන පාපය ගැන ඇයට සිහියට නැඟුනා. වහාම ඒ පාන් ගෙඩිය ඉවත්කොට ඇය තම කෑම සඳහා පුච්චාගත් පාන් ගෙඩිය ජනෙල් පියන මත තැබුවා. වෙනදා මෙන්ම විරූපි මිනිසා පැමිණ එය රැගෙන යන්නට වුනා. ඒ වගේම තම පුරුදු වදන් වැළ පැවසීමටද ඔහු අමතක කළේ නෑ. ''උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා'' 

 ඇය මෙසේ පාන් ගෙඩියක් පුළුස්සා තබන සෑම දිනෙකම ඊට සති ගණනකට පෙර නිවසින් බැහැරව ගොස් අතුරුදන් වූ තම එකම පුතා ආරක්‍ෂා කර දෙනමෙන් දෙවියන් යදින්නටද පුරුදුව සිටියා. එදිනම ඇය තමාහට නැවත පාන් ගෙඩියක් පුළුස්සා ගැනීමට සැරසෙද්දීම ඇයගේ නිවසේ දොරට යමෙකු තට්ටු කරන්නට වුනා. දොර හැර බැලූ ඇයට තම දෙනෙත් අදහා ගත නොහැකි වුනා, තම එකම පුතු ඉතාමත් දුර්වල තත්ත්වයෙන් දොර අසල සිටිනු දුටු ඇය වහාම ඔහු වත්තන් කරගෙන ඇඳ වෙත රැගෙන ගියා. එවිට ඔහු සෙමින් තමාට වූ අකරතැබ්බය විස්තර කරන්නට වුනා.

 ''මම එදා කැලය මැදින් යමින් සිටියදී කැලයේ වූ වළක් තුලට මම ඇද වැටුනා. දවස් 2ක් විතර මම සිහි නැතිව ඉන්නට ඇති. මගේ කකුලේ වූ තුවාලය නිසාම මට ඒ වළෙන් ගොඩ එන්නට නොහැකි වුනා. දින කිහිපයක් මම බේරා ගන්නා ලෙස කෑ ගසමින්, කෑමක් නැතුව සිටිද්දී ඒ අසලින් ගිය විරූපි වකුටු මනුස්සයෙක් මට පාන් කැබැල්ලක් වළ තුළට දමා යන්නට වුනා. ඔහු මේ විධියට මේ දින ගණන පුරාවටම මාහට තම පාන් ගෙඩියෙන් කොටසක් දුන්නා. අදත් ඔහු මට තමාගේ පාන් ගෙඩියෙන් කොටසක් වෙනදා මෙන්ම දුන්නා, ඒක කාලා මම අමාරුවෙන් එල්ලී වළෙන් ගොඩට ආවා. 

ඒ මනුස්සයා නැති වෙන්න අද මම මැරිලා අම්මේ.''

 ඇයට මේ කතාව ඇසෙද්දී තම ගත වාරු නැතිව ගියා. ඇස් වල කඳුලු පුරවා ගත් ඇය අද තමා කරන්නට ගිය දෙයින් තම පුතුගේ ජීවිතයද අහිමි වන්නට තිබූ බව සිතන්නට වුනා. ඒ සමඟම ඇයට අර විරූපි මිනිසාගේ වදන් මතකයට නැඟුනා. ''උඹ කරන නරක උඹ ගාවම ඉතිරිවේවි, ඒත් උඹ කරන හොඳ ආයෙත් නුඹව සොයාගෙන එනවා'' ඉතිං යාලුවනේ ඔයාලත් පුළුවන් තරම් අන් අයට උපකාර කරන්න. අන් අයට හොඳම කරන්න. එයින් පෙරළා කිසිවක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නට එපා.

0 අදහස් Comments::

Post a Comment

නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-