මනුෂ්‍යත්වය සොයා යමි

Sunday, May 6, 2012

අඳුරු රැයක සොරාගත් තම ජීවිතය සොයා ගිය ඇලිසන්

කුණු අප්‍රිකවේ පෝට් එලිසබෙත් නගරය ගිම්හානයේ උණුසුමින් පිබිදී වෙරළබඩ විනෝදකාමී රසවතුන්ට පාරාදීසයක් මැව්වේය. ඇලිසන්ද සිය මිතුරියන් සමග වෙරළෙහි වැතිර සිටියාය. ඈත දියඹට යොමු වූ නිල්වන් දෑස් දෙස බලා සිටි  මිතුරියන් ඇලිසන්ගේ සුරූපී බවට විහිලු කළහ. සැහැල්ලුවෙන් සිනාසුන ඇය සියල්ලන්ගෙන්ම සමුගෙන තම වාහනයට නැග අසුන් ගත්තාය. ඵ් 1994 දෙසැම්බර් 18 දින හවස් වරුවේය. වසාගත් අඳුර අතරින් වාහනය පදවාගෙන ගිය ඇලිසන් තම ජීවත් වෙන නිවාස සංකීර්ණය ලඟදී වාහනයේ වේගය අඩු කළාය. සිය මවට රැගෙන ආ මල් පොකුරද අතැතිව ඇය දොර හැරියාය. පිහියක් දෙපසට වනමින් ඇයගේ ගමන් මඟ හරස් කරමින් නැවතත් ඇය වාහනයට තල්ලු කළේ කලු හැඳගත් පුද්ගලයෙකි. කැරලි ගැසුනු කෙස් සහිත විරූපී මුහුණක් ඇති ඔහුගේ ඇස් තර්ජනාත්මක විය. ඇය රියැදුරු අසුනින් යාබද අසුනට තල්ලු වී ගියාය. අවට කිසිවෙකු පෙනෙන්නට නැත. ඔහු අත  ලෙලෙන පිහියකි. ඔහු වාහනය පන ගැන්වූ පසු කතා විලාසය වෙනස් විය.

'බය වෙන්න එපා මගෙ ටී.වී එකයි වීඩියෝ එකයි හොරු අරන් ගිහින්. ඒක හොයා ගන්න වාහනයක් විතරයි මට ඕනා' ඔහු කීවේය. සන්සුන් වන්නට උත්සාහ කරමින් ඇය කතා කළාය.

'මට හරි මහන්සියි ගෙදර යන්න ඕනෙ. ඇයි මාව තියල වාහනය ගෙනියන්නෙ නැත්තේ. වැඩේ කරගෙන ගෙනැත් දෙන්න'

'නෑ.. ඔයත් එක්ක යන එක හොඳයි' ඔහු සන්සුන්ව පිළිතුරු දුන්නේය. නගරය පසු කරනතුරු සමාන්‍ය කතාබහේ යෙදුනේය.

ඔයාගේ නම මොකක්ද? ඔහු දයාන්විතව ඇසුවේය.

සුසාන් ඇය ආරකෂිත වීම සඳහා බොරුවක් කීවාය. ඇයට වාහනයෙන් පිටතට පනින්නට සිතුනද ඉන් විය හැකි අනතුර සිහි විය. සමහර විට එවන් උත්සාහයකදී මොහු දරුණු විය හැකි බවද ඇයට සිතුනි. නගරයෙන් ඈත් වන විට ඇයට සහයට හෝ කිසිවෙකු නැතිවේ. පාදඩයන්ගෙන් නොඅඩු රාත්‍රී සමජශාලාවක් ඉදිරිපිට නැවැත්වූ වාහනයට තවත් මිටි, තරබාරු මිනිසෙකු නැග්ගේය. ඔයුද කලු ඇඳුමෙන් සැරසී සිටි බව ඇලිසන් දුටුවාය.

'මේ මගේ යාලුවා' සුසාන් ඇලිසන් පැහැරගෙන යන්නා තරබාරු මිනිසාට කීවේය.

හෙලෝ.. කී ඔහු නැතිවූ බඩු භාණ්ඩ ගැන සාකච්ඡා කළේය. අපහසුවෙන් සවන් දී සිටි ඇලිසන්ට වාහනය වෙරළ බඩ පටු මාවතකට හරවද්දී භයන්කරත්වයේ විදුලියක් ඇයගේ සිරුර පුරා දිව යනු දැනුණි.

ඇලිසන් පැහැරගෙන යන්නේ ෆාන්ස්  ටොයිට් නම් වූ දෙහැවිදිරි පුතෙකුගේ පියෙකි. ඔයුගේ වයස 26කි. නමුත් තිරිසන් ලිංගිකාශාවන් නිසා ඔහු සිරගත වූවෙකි. දස මසකට පෙරද දහනව හැවිදිරි පාසල් ශිෂ්‍යාවක දූෂණය කිරීම හේතුවෙන් රක්ෂිත සිරගත වූවද, පසුව නිදහස ලැබී තිබේ. ඉන් පසුවද 21ක් වියැති විවාහක කාන්තවක් දූෂණය කළේ කෲගර් නැමැත්තෙකු සමගිනි. තමා ගැබිණියක කියමින් බැගෑපත් වූවද ඔවුහූ ඇයට අනුකම්පා නොකළහ. මෙය පැමිණිලි කළහොත් ඇයද දරුවාද මරා දමන බවට තර්ජනය කිරීමට ඔවුහූ අමතක නොකළහ. පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිසියේ අත්ඩංගුවට පත්වූවද අධිකරණයේ කුමන හෝ දුර්වලතාවයක් හේතුවෙන් ඔවුනට නැවත නිදහස ලැබුණි.

   ඔවුන්ගේ ඊළග ඉලක්කය වූයේ ඇලිසන්ය.  පාලු පාරක වාහනය නැවතූ ටොයිට් ලයිට් නිවන ලෙස ඇලිසන්ට ආචාරශීලීව කීවේය. ඇය කීකරු වූවාය.

දැන් මොකද කරන්න යන්නේ? ඇය ඇසුවාය.

ඇයි අපි එක්ක ගහගන්නද? ටොයිට් ඇසුවේය.


නෑ... ඇලිසන් වහා කීවාය. හඳ එළියෙන් ටොයිට්ගේ මුහුණේ සෑම ඉරියව්වක්ම ඇලිසන් දුටුවාය. කෲගර් වාහනයෙන් බැස එළියේ සිටිද්දී ටොයිට් වාහනයේදීම ඇලිසන් කෙළිබඩුවක් කර ගත්තේය. ඉන් පසුව කෲගර් තමන්ගේ වාරය ලබා ගත්තේය.

මේ ශරීරය මිසක් මම නොවෙයිනේ. ඇලිසන් ඉමහත් වේදනාවෙන් සිතුවාය. සුලු මොහොතකට පසු කෲගර් රථයේ බොනට්ටුව මත හිඳගෙන සිටියේ දිග පිහියක්ද අතැතිවය.

පොලීසියට යනවද? ටොයිට් ඇසුවේය.

නෑ... ඇලිසන් වහා කීවාය. මම මගේ දෙමව්පියෝ මේක දැනගන්නවාට කැමති නෑ. ඔය බොරු කියන්නේ. අපට විශ්වාස කරන්න බෑ. කෲගර් සන්සුන්ව කීවේය. ඔහු තම දඩයම් පිහිය දෙපසට වනමින් අමුතු ක්‍රීඩාවක යෙදුනේය. එහි මුවහත් තලය සඳ එළියට විලිස්සමින් දිලිසුණේය. ක්ෂණයකින් ටොයිට් කෲගර් දෙසට හැරුනේය.  මොකද උඹ කියන්නේ... නාකි නික් මොනවා කරන්නද කිව්වේ?.. මඳ නිහඬතාවයකින් පසු කෲගර් කතා කළේය. එයා කියන්නේ මරන්න කියලා.  ජීවිතයට සමුදෙන්නට කාලය පැමිණ ඇති බව අවබෝධ විය. ටොයට් පිහිතලය ඇගේ බෙල්ලට තබා එහාටත් මෙහාටත් ඇතිල්ලුවේය.

අනේ මාව මරන්න එපා. ඇය ආයාචනා කළාය.

බෙල්ල සීරීගෙන යද්දී ටොයට් සිනාසුණේය. 'බොහොම කණගාටුයි' ක්‍රමයෙන් ඇලිසන් දුර්වල විය. මේ නරුම තිරිසන් මිනිස්සු ඇයගේ නිරුවත් සිරුර වාහනයෙන් එළියට ඇද කසල ගොඩට තල්ලු කළහ.

'මැරිලද?' කෲගර් ඇසුවේය. ටොයට් ඇයගේ අප්‍රාණික සිරුර අසලට ගොස් ඔහු අත වූ උල් පිහියකින් ඇයගේ උදරයට ඇන්නේ උමුතු වූවෙකු ලෙසිනි. ඇයගේ එක් පාදයක් ගැහෙනු දුටු කෲගර් ඇලිසන්ගේ බෙල්ල හරහා තම දඩයම් පිහිය ඇතිල්ලුවේය. ඔවුහු ඇගේ බෙල්ල දෙපසට හරවමින් මහ හඬින් සිනාසුණහ.   නමුත් මේ අමානුෂික ක්‍රියාවෙන් ඇලිසන්ගේ හුස්ම හිරවීම මදකට පමා විය. වාතය පෙනහලු දක්වා ගමන් කිරීම නැවත ඇරඹුණි. මඳක් සිහිය ලැබුනද ඇය නිහඬව සිටියාය. කැපුම් තුවාල සිරුර පුරා තිබුණද  'මගේ මරණය දැකල මුන්ට සතුටුවෙන්න දෙන්නනම් බැහැ' ඇය සිතා ගත්තාය. තමාගේ වාහනයේ වූ බෑගය එළියට විසිකරන ශබ්දය ද වාහනය පණ ගන්වන හඬ ද  ඇය අසා සිටියාය. ඔවුන් ගිය වහාම ඇය පොළවේ ෆ්‍රාන්ස් සහ ටීන්ස් යන නම් සටහන් කළාය. ඔවුන්ගේ මුවින්  එම නම් කිහිපවරක් කියවෙනු ඇයට මතකය. ඇය මියැදෙන්නේ නම් ඔවුන් කෙසේ හෝ දඬුවම් ලබන බව ඇය දැනගත යුතුය.

'මාමා මං ඔයාට ආදරෙයි' නැවත ඇය පොළවේ ලීවාය. තම පියාගෙන් වෙන්වී ඇය හදාගත් අයුරු ඇයට චිත්‍රපටයක් මෙන් පෙනෙන්නට විය. ඇය ඇදී තම බඩු බාහිරාදිය ඉවතලූ ස්ථානයට ළඟා විය. ඇයගේ ඇඳුමක් ගෙන ලේ ගලන උදරය වසා ගෙන තව තවත් පාර දෙසට බඩ ගෑවාය. මීටර් පහළොවක් පමණ දුර බඩ ගාගෙන ගිය ඇය සිහි විසඥ වූවාය. නැවත වරින් වර සිහි ලබමින් ඇය සිත ශක්තිමත් කරගන්නට උත්සාහ කළාය. තවත් මීටර් පනහක් පමණ ඇදී ගිය ඇය ප්‍රධාන මාර්ගයට ආසන්න විය. වාහන ශබ්ධයක් ඇසෙනතුරු ඇය අසා සිටියාය.

                                                                     ..........

ටියාන් එලීඩ් පශු වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔහු තම මිතුරන් සමඟ සාදයකට සහභාගි වී වාහනයේම මඳක් නිදි සුව වින්දාය. පසුව මිතුරන් පැමිණි වාහනයට පිටුපසින් නිවස බලා ගමන ඇරඹුවේය. මඳ දුරක් අඳුර කපා ගෙන යන අතර ඉදිරි වාහනය මඳක් නවතනු ඔහු දුටුවේය. ඔහුද මඳක් නවතා බලා සිටියේය.

'ඒයි අතන කවුද වැටිලා ඉන්නවා. මිතුරන් ඔහු වෙත පැමිණ කීහ. ටියාන් වහාම දුවගොස් ඇය සෝදිසි කළද ඇය මිය යමින් තිබූ බැවින් ඔහු කළ යුත්තේ කුමක්දැයි මඳක් සිතුවේය. පසුව ඔහු ඇයගේ නාඩි බැලුවේය. බෙල්ලෙන් ගලා යන රුධිරය නවත්වන්නට ඇය ඔහුගේ අත බෙල්ලට තබා තද කළේය.

'ඔයාට සනීප වේවි' ඔහු කීවේය. ඉන්පසු ඔහු තම ජංගම දුරකතනයෙන් ගිලන් රථයක් වහා එවන ලෙස රෝහලට දැන්වීය.

'ඔයාට ඇහෙනවද?' ඔහු ඇලිසන්ගෙන් ඇසුවේය. ඇය සිය අතින් කළ සංඥා ඔහු වටහා ගත්තේය. මෙය කළ පුද්ගලයන් ඇය හඳුනයි. ඇයට දෙනෙත් පියා ගන්නට ඉඩ නොදුන් ඔහු සංඥා මඟින් ඇය හා කතා කළාය.

ඇයව ගිලන් රියට ගැනීමට සේවකයන්ට සහාය වූ ඔහු ඇය සමඟ රෝහලට ද ගියේය. ඒ වනවිට සිය ශරීරයෙන් අඩක් විතර රුධිරය ගලා ගොස් තිබිණ. සේලයින් හෝ රුධිරය ශරීර ගත  කරන්නට ඇයගේ එකදු රුධිර නාලයක් සොයා ගත නොහැකිව හෙදියන් වෙහෙසට පත්වෙදිදී,

'දැන්නම් එයාට මැරෙන්න දෙන්න බැහැ මෙච්චර දුරක් ඇවිල්ලත්..' ඔහු වහා ඉදිරිපත් වී වෛද්‍ය විද්‍යාලයේ ඔහු ලත් දැනුම තුලින් ඇයගේ අප්‍රාණික රුධිර නාලයක් හරහා ඉඳිකටුව ඇතුලු කළේය.

පෝට් එළිසබෙත් රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සියලු දෙනාගේ ඉමහත් ස්ංවේගජනක හැඟීම් වචනයට ප්‍රකාශ  නොකෙරිණි. උදෑසන හතරට වෛද්‍ය වොල්ඩියා ඇන්ජලිව් රෝහලට ළඟා විය. ඔහු තම ශල්‍ය වෛද්‍ය වෘත්තිය තුළ දුටු ඒ සා මහත් බරපතල තුවාල ලැබූ ප්‍රථම රෝගියා ඇය විය.

ඇත්තටම ඇය සුව වේවිද? ඔහු තමාගෙන්ම ඇසුවේය. පැය හතරක් පුරා වෛද්‍ය වොල්ඩියා ඇලිසන්ගේ දෙපලු වූ තයිරොයිඩ් ග්‍රන්ථිය සකස් කළේය. ස්වාස නාලයේ එක් ඝණ ප්‍රදේශයක් පමණක් පිහි තලයෙන් බේරී තිබුණි. ඇය කෙසේ ජීවත් වූවාදැයි වෛද්‍යවරයා විමතිය පළ කළේය. ඇයගේ බඩවැල් හරහා කැපුම් තුවාල විසිපහක් තිබුණි. මුත්‍රාශය දෙකොටසකට බෙදී තිබුණි.

උදෑසන පහට ඇලිසන්ගේ මවට දුරකතනයෙන් ලැබුණේ සුබ පණිවුඩයක් නොවේ. ඇය සිතාගෙන සිටියේ තම දියණිය යහලුවන්ගේ නිවසක නවතින්නට ඇති බවයි.

'අපි තවම ඔපරේෂන් එක කරනවා' වෛද්‍යවරයෙක් ඇයට කීවේය.
ඇලිසන්ගේ මව රෝහලට යන විට ඇලිසන් දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් බට සහ යන්ත්‍ර කිහිපයක ආධාරයෙන් ජීවිතය සොයමින් සිටියාය.

'හලෝ.. බබා මම ඔයාගේ මමී' ඇලිසන් දෙනෙත් හැරියාය.

'මමී මට මේක කරපු උන් පොලිසියට ගේන්න ඕන' ඇය කීවාය.
සවස එකට පමණ පොලිස් නිළධාරියෙක් ඇලිසන්ගේ යහන අසල හිඳ අපරාධකරුවන්ගේ සේයාරූ පෙන්වමින් ඇයට අපරාධකරුවන් හඳුනාගන්නට උදව් කරමින් සිටියේය. එම ඡායාරූප අතර ටොයිට්ගේ රුවද විය. නමුත් කෲගර්ගේ ඡායාරූපයක් නොතිබුණි. ඇය ඔහුගේ හැඩරුව පිළිබඳව ඉතා පැහැදිලිව තොරතුරු ලබා දුන්නාය. ඇලිසන්ගේ වාහනය මහ මඟ දමා ගොස් තිබී පොලීසියට හමුවිය. පසුදින උදෑසන පොලීසිය දෙදෙනාම එකවර අත්ඩංගුවට ගත්තේ දඩයම් පිහියද සමඟිනි.

'ඔබ දෙදෙනා කාන්තාවක් දූෂණය කරලා ඇයට දරුණු ලෙස තුවාල කරමින් මරන්න උත්සාහ කරල තියෙනවා.'

ටොයිට් පුදුමයට පත් විය. 'එහෙනම් එයා ජීවතුන් අතර' සියල්ල පාපොච්චාරණය කරන්නට ඔවුනට සිදුවිය. අසීමිත වේදනාවන් දරා ගනිමින් ඇය වේගයෙන් සුවය ලබමින් සිටියාය. දින පහළොවකට පසු ඇය රෝහලින් නිවසට ආවාය. ඇයට තවත් සටනක් ජය ගන්නට තිබුණි. තමා විනාශ කළ පුද්ගලයන්ට මුහුණ දෙන්නට ඇයට විශාල ශක්තියක් අවශ්‍ය විය.

1995 ජූනි 12 වැනි දින ඇලිසන් සාක්ෂි කූඩුවට නැග්ගාය. එය පෝට් එලිසබෙත් ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඇයගේ බෙල්ලෙහි වූ රක්ත වර්ණ කැළල නිහඬව බොහෝ දේ කියද්දී ඇය කතා කළාය. පුරා සති අටක් ඇය තමාට තත්පරයක් පාසා සිදු වූ සියල්ල විස්තර කළාය. ටොයිට් සහ කෲගර් ට මරණීය දණ්ඩනය නියම විය. ඇලිසන් ඇය වෙනුවෙන් ඉටුකල සාධාරණය වෙනුවෙන් අධිකරණයට ආචාර කළාය.

වසර දෙකකට පසු ආදරයෙන් බැඳුණ ඇය ටේනියා බෝතා හා විවාහ වූවාය. රොටරි පදනම විසින් ඇයගේ විස්මිත ධෛර්ය වෙනුවෙන් ඇයට උපහාර දැක්වූ අතර ටියාන් වෛද්‍ය ශිෂ්‍යා හටද ඔහුගේ මිනිස්කම වෙනුවෙන් උපහාර පුදනු ලැබීය. ඔවුන් ලැබූ දඬුවම මා ලැබූ ඉහළම ජයග්‍රහණයැයි ඇය අදටත් පවසයි.

2 අදහස් Comments::

නෙතු නුඹ said...

අපේ ජීවිතේ නොයෙකුත් නොලැබීම් වලදී, නොයෙකුත් රැවටීම් වලට ලක් උනාම මුලු ලෝකෙම නැති උනා කියලා හිතාන හඬා වැළපෙනවා. ජීවිතේම නැති කරගන්න යනවා.ඒකෙන් වෙන්නේ අපි අපිම තව තවත් විනාස කරගන්න එක. ඒත් ඇය. ජීවිතේ ගොඩනඟා ගත්තා......

Sansi said...

ammoooo.......

Post a Comment

නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-