මනුෂ්‍යත්වය සොයා යමි

Wednesday, March 21, 2012

   පිලිපීනයේ වුනු සත්‍යය සිදුවීමක් නිසා පිරිමි ළමයෙක් හැමෝටම මෙසේ පවසනවා... ඒ තමයි,

 “යාලුවෝ සියයක් දේ කිව්වත් කරන්න... ඒත් ඔබට ආදරය කරන කෙනෙක් එපා කියන දෙයක් ආපසු කිසිවිටෙකත් නොකරන්න...

“ එහේම කියන්න මේ පිරිම ළමයට මොකක්ද වුනේ??? 

“ජුලී“ කියලා ලස්සන නමක් තිබුන මේ ගැහැණු ළමයා ගොඩාක්ම බය වුනා කාටහරි ආදරේ කරන්න. මොකද දන්නවද මේ බය? ජුලීට අවු.13 වෙද්දී එයාගේ තාත්තා නැතිවුනා. ඒ අධික ලෙස දුම්බීම නිසා හැදුනු පිළිකාවකින්. ඊට පස්සේ තනිවුනු අම්මා විඳින දුක් වේදනා මේ ජුලී හොදට දැක්කා. ඒ හින්දම ඇය දුම්බොන පිරිමි අයට වෛර කරන්න වුනා. පිරිමි ළමයින්ට ආදරේ කරන්නත් බය වුනා. කාලයත් එක්ක ජූලී යාලුවුනා එයාගේ පන්තියේම හිටපු පිරිමි ළමයෙක් එක්ක. එයාගේ නම “මැක්කෝයි“ මේ පිරිමි ළමයත් දිගටම දුම් බොන්න පුරුදු වුනු කෙනෙක්. එයා එයාගේ යාලුවොත් එක්ක නිතරම වගේ මේ දේ කළා. 

ජුලී එයාගේ මැක්කෝයි මුණගැසුනු හැම වේලාවෙම තමන්ගේ පියාට දුම් බීම නිසා වුනු දේ කිව්වා. ඒ ඔහුව මේ පුරුද්දෙන් ගලවා ගන්න. ඒත් ඇය ඔහු යාලුවොත් එක්ක යන එක නතර කරන්න උත්සාහ කලෙත් නෑ. මොකද ඒක මැක්කෝයි ගේ සතුට නිසා. මේ සබඳතාවට මාස 3ක් වෙද්දීම මැක්කෝයි හොදටම ලෙඩ වුනා. ඒ සිගරට් නිසා පෙනහලු වල ඇති වෙච්ච Emphysema කියන රෝගයකින්. ඔහුගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව, අවුරුදු දෙකක් ගත වෙද්දීත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කරනවා.

 ඒ අවුරුදු දෙක පුරාම ජුලී ඔහු ළඟටම වෙලා එදා තිබු ආදර සෙනෙහසින්ම ඉන්නවා. ඇයගේ පාසැල් ගමන නවත්තලා, ගෙදරින් එන බැනුම් වගේම අතේ තියෙන මුදලුත් වියදම් කරමින් තමා මෙහේම ඉන්නේ. ඇයගේ තිබුන පිවිතුරු ප්‍රේමය මේ මැක්කෝයි ව ජීවත් කරවනවා. මේ විධියට කාලය ගතවෙලා අවුරුදු දෙකක් ගතවෙද්දී ඔහු සුවය ලබනවා. සුවය ලබපු මේ කොල්ලා සිගරට් බීම නවත්වලාම දානවා. ඒ වගේම ඔහු “ජුලී“ විවාහ කරගෙන සතුටින් ජීවත් වෙනවා. 

 මේ පින්තුරයේ ඇත්තටම ඉන්නේ ඒ දෙන්නමයි. ඒත් එක දෙයක් මේ මැක්කෝයිට නිතරම කරදර කරනවා. ඒ මොකක්ද? ඒ ඔහුගේ හදවත. එය නිතරම ඔහුගෙන් අහනවා ඔහු “ජුලීට“ ඇහුම්කන් දුන්නේ නැත්තේ ඇයි කියලා. අන්න ඒ හින්දම අර මුලින් ම කියපු කතාව ඔහු හැමෝටම කියන්න හිතාගත්තා. 

තමයි “ යාලුවෝ සියයක් දේ කිව්වත් කරන්න... ඒත් ඔබට ආදරය කරන කෙනෙක් එපා කියන දෙයක් ආපහු කිසිවිටකත් නොකරන්න... 

“ කතාව කියෙව්වට ''සිගරට් බොන්න එපා'' කියලා නම් මම කියන්නේ නෑ, මොකද ඉතින් ඒ සිගරට් පෙට්ටියේම ඒකේ විපාක ගැන සඳහන්ව තියෙන නිසා. ඒත් කවුරු හරිම ඔබට ආදරය කරන කෙනෙක් “ඔය දුම්බීම නවත්තන්න“ කියපු දවසක මේ කතාව ආපහු මතක් කරගන්න. ඊට පස්සේ තමන්ගේ හදවතින් අහන්න ඒ දේ තවත් කරනවද නැද්ද කියලා...

බිරින්ඳෑවරුන් හතරදෙනා

 ක්තරා කාලයක වෙළෙන්දෙක් හිටියා. සල්ලි ගොඩාක් තිබුන මේ වෙළෙන්දට හිටියා නෝනලා 04 දෙනෙක්

ඔහු මේ හිටිය නෝනලගෙන් හතරවෙනි නෝනට ගොඩාක් ආදරය කලා, ආභරණ වලින් සැරසුවා වගේම ලස්සන ඇදුම් වලිනුත් සැරසුවා. ඇයව හොදින්ම රැක බලා ගත්තා. තුන්වෙනි නෝනාටත් මේ වෙළෙන්දා ගොඩාක් ආදරෙයි. වෙළෙන්දා නිතරම එයාව තියාගත්තේ එයාගේ යාලුවන්ට පෙන්වන්න. ඒ නෝනා ගැන එයා ගොඩාක් ආඩම්බරත් වුනා. පොඩි බයකුත් තිබුනා කවුරු හරි ඒ නෝනා අරගෙන යාවි කියලත්. දෙවනි නෝනාටත් මේ වෙළෙන්දා ආදරෙයි.. ඒ නෝනා ගොඩාක් මැදිහත් ඒ වගේම හරි ඉවසිලිවන්තයි. මේ පෝසත් වෙළෙන්දට ප්‍රශ්ණයක් වුන හැම වේලාවේම ඒ ගැන යමක් අහන්නෙත් මේ දෙවන නෝනගෙන් තමා. ඇය හැම අමාරු වෙලාවේම මේ වෙළෙන්දත් එක්කමයි. දන්නවද? මේ වෙළෙන්දාගේ පළමු වැනි නෝනා බොහෝම ගෞරවයෙන් යුතු කෙනෙක්. වෙළෙන්දාගේ වත්කම්, ව්‍යාපාර වගේම ගෙවල් දොරවල් පිළවෙල ගැනත් හොයා බැලුවේ මේ පළමු වැනි නෝනා.

 එයා වෙළෙන්දත් එක්ක නිතරම එකට ඉන්න හැදුවට වෙළෙන්දා මේ පළමු නෝනාට ආදරේ කලෙත් නෑ ඇය ගැන සොයා බැලුවෙත් නෑ. ඒත් ඇය ඔහුට හිත ගැඹුරෙන්ම ආදරය කළා. ඉතින් කාලය මෙහෙම ගෙවීගෙන ගෙවීගෙන යද්දි දවසක් මේ වෙළෙන්දා හොදට ම ලෙඩ වුනා. ඔහු දැන ගත්තා ඔහු ඉක්මනින් මැරෙන්න යනවා කියලත්. අන්න ඒ හින්දම වෙළෙන්දා කල්පනා කලා “මම මෙච්චර සැප සම්පත් එක්ක වගේම නෝනලා හතර දෙනෙකුත් එක්කම ගොඩාක් සතුටින් තමා හිටියේ, හැබැයි මැරුනොත් නම් මම තනිවේවි.“ මෙහෙම හිතුන වෙළෙන්දා බැලුවා නෝනලවත් තමන් එක්ක එක්කන් යන්න. 

 වෙළෙන්දා මුලින්ම හතරවෙනි නෝනාට කතා කලා. කතා කරලා කිව්වා “ මම ඔයාට ගොඩාක් ආදරේ කලා, හොඳ ආභරණ, රෙදි ඔයාට දුන්නා. ඉතින් දැන් මම මැරෙන්න යන්නේ ඔයා එනවද මාත් එක්ක යන්න? “ මේ හතරවෙනි නෝනා ගත් කටටම වෙළෙන්දාට “ බැහැ“ කියලා කිව්වා. ඒ කතාවට වෙළෙන්දාගේ හදවතට පිහියෙන් ඇන්නා වගේ වුනා.
 වෙළෙන්දා තුන්වෙනි නෝනාගෙනුත් ඇහුවා අර ප්‍රශ්ණෙම. ඇය කියනවා “මේ ජිවිතේ කොච්චර හොඳද. ඔයා මැරුණම මම වෙන කෙනෙක්ව කසාද බඳිනවා. ඒ නිසා ඔයත් එක්ක එන්න බෑ“ කියලා. වෙළෙන්දට තවත් දුකයි, ඔහුගේ හදවත සීතල වෙනවා. කොහොමටත් කියලා ඔහු කතා කරනවා දෙවන බිරිඳට, ඇයගෙන් වෙළෙන්දා ඇහුවා ඔයා ඕනම ප්‍රශ්ණෙකදී මාත් එක්කම හිටියා, දැන් මම මැරෙන්න යන්නේ. ඔයා එනවද මාත් එක්ක? දෙවන බිරිද ටිකක් කල්පනා කරලා මෙහෙම කියනවා. “මට සමාවෙන්න. මේ පාර නම් මට ඒක කරන්න බැරි වෙනවා. හැබැයි ඔයත් එක්ක ඔයාගේ සොහොන ගාවට නම් එනවා“ කියලා.

 ඒ උත්තරයත් වෙළෙන්දාට දැනුනේ හරියට අකුණක් කෙටුවා වගේ. එක පාරටම අසරණ වෙළෙන්දාට ඇහෙනවා “ මම එනවා ඔයත් එක්ක, ඔයා කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා“ වෙළෙන්දා බැලුවා වටපිට ඒ ඔහුගේ පළවෙනි නෝනා, එයා හරියට දුර්වල වෙලා. වෙළෙන්දාට දුක හිතෙනවා. ඔහු කියනවා, “ අයියෝ... මට පුළුවන්කම තිබුණ කාලේදී ඔයාව හොදින් බලාගන්න තිබුණා...“ කියලා. 

දන්නවද??? මේ වගේ නෝනාලා හතර දෙනෙක් අපේ ජිවිත වලත් ඉන්නවා. කවුද ඒ??? හතරවෙනි නෝනා තමා අපේ ශරීරය. කොච්චර වේලාව අරන් හැඩ වැඩ දාලා ලස්සන කලත් අපි මැරෙන වේලාවට එයා අපිව දාලා යනවා. ම්... තුන්වෙනි නෝනා, ඒ තමා අපේ තත්ත්වය, වත්කම. අයියෝ. අපි මැරුනම ඒ ඔක්කෝම අනුන්ගේ. දෙවනි නෝනා, ඒ තමා අපේ දෙමව්පියන් හා යාලුවෝ ටික. ඕනම දේකට ජිවත් වෙද්දි අපි ළඟ ඉන්නවා. හැබැයි අපි මැරුණම අපේ සොහොනගාව හිටගෙන ඉන්නවා විතරයි. 

පළවෙනි නෝනා තමා අපි කවදාවත්ම මුදලින්, වටිණ රෙදි වලින්, සතුටෙන් සරසවන්නෙ නැති අපේ ආත්මය. අද ඉඳන් අපි අපේ ආත්මයට ගරු කරමු. ආත්මයම නිවී සුවපත් වෙන ජීවිතයක් ගත කරමු.

හදවතත් එක්ක සෙල්ලම් එපා

යාලුවෝ ටික උද්‍යානයේ සෙල්ලම් කරද්දී පීටර් හා ටීනා බංකුවක වාඩි වෙලා අහස දිහා බලන් හිටියා.

ටීනා : ''මට හරිම කම්මැලියි. ආදරේ කරන්න කොල්ලෙක්වත් හිටිය නම්''

පීටර් : ''ම්... ඒක ඇත්ත අපි දෙන්න විතරමයි ඉතිරි වෙලා ඉන්නේ.''

ආපහු අහස බලන කොටම ටීනා කෑ ගැහුවා.

ටීනා : ''පීටර් අපි වැඩක් කරමුද?''

පීටර් : ''මො.. මොකක්ද ඒ?'' පීටර් ඇහුවේ පුදුමයෙන්. ''කියන්න බලන්න.''

ටීනා හැඩ කරලා කතාව කියන්න ගත්තා.

ටීනා : ''මෙහෙමයි. දවස් 100කට ඔයා මගේ boy friend වෙනවා. මම ඔයාගේ girl friend වෙනවා. කැමතිද?''

පීටර් : ''ෂා... ඒකත් හොදයි. මටත් කිසිම වැඩක් නැතුවයි හිටියේ'' පීටර් එහෙම කිව්වා.

ටීනා : ''අද අපේ ආදරයේ පළවෙනි දවස. අපි මොකද කරන්නේ?''

පීටර් : ''හොඳ ෆිල්ම් එකක් තියෙනවා. අපි යමු ද ඒක බලන්න?''

ටීනා : ''නියමයි අපි යමු.''

2 වෙනි දවස
පීටර් ලස්සන කී ටැග් එකක් ටීනාට තෑගී දුන්නා.

3 වෙනි දවසේ මේ දෙන්නම ගියා යාලුවෙකුගේ උපන් දිනයට තෑග්ගක් තෝරන්න. ඒ අතරේ එක අයිස් ක්‍රීම් එකක් අරන් බෙදා ගෙනත් කෑවා.

7 වෙනි දවසේ මේ දෙන්නා ගියා පුංචි කඳු මුදුනකට ඉර බහින හැටි බලන්න. ඉර බැහැලා හඳ නැගෙන කොට ටීනා කොදුරමින් තමන්ටම යමක් කියමින් ප්‍රාර්ථනයකුත් කළා. මේ විදිහට දින ගෙවී යනකොට ගිවිසුමකට යාලු වුන මේ දෙන්නා ගොඩාක් සතුටින් තමා හිටියේ.

කොහොම කොහොම හරි 99 වෙනි දවසටත් ආවා.

එදා මේ දෙන්න නගරේ වටේම ඇවිදින්න යන්න කතා කර ගත්තා. වේලාව සවස 1.23 වෙද්දී දෙන්නම බංකුවක වාඩි වුනා. ඒ අතර...

ටීනා : ''මට තිබහයි. අපි ටිකක් ඉදලා යමු.''

පීටර් : ''හොඳයි. එහෙනම් මම බොන්න මොනවා හරි අරන් එන්නම්. මොනවටද ඔයා කැමති?''

ටීනා : ''අනේ ඇපල් ජූස්. ඒවා තමා මට ඕන.''

වේලාව සවස 1.43. විනාඩි 20ක් හිටියත් පීටර් තාම නෑ. ඒත් හදිස්සියෙන් පුද්ගලයෙක් ටීනා දිහාවට ආවා.

අමුත්තා : ''ඔයාද ටීනා කියන්නේ?''

ටීනා : ''ඔව් ඇයි? මුකුත් උදව්වක් ඕනද?''

අමුත්තා: ''නෑ. අතන පාරේදී පිරිමි ළමයෙක් වාහනයක හැප්පිලා. මම හිතන්නේ ඔයාගේ යාලුවා.''

ඇය එතනට දුවලා යද්දීත් ඇපල් ජූස් බෝතලයත් අතේ තියාගෙනම ලේ විලක් මැද පීටර් වැටිලා හිටියා. හදිසි රථයෙන් ඔහුත් එක්කම රෝහලට ගිය ඇයට පැය 5ක් එතන බලා ඉන්න වුනා. ප්‍රතිකාර කරලා ඉවර වුන දොස්තර මහත්මයා කිව්වේ පීටර් ව බේරගන්න ගොඩාක් උත්සහ කලත් ඒක කරන්න බැරි වුනා කියලා. ඊට පස්සේ ඇයට තම අත වූ ලිපියකුත් දුන්නා. ගොඩාක් දුක් වුන ටීනා ටික වෙලාවකින් අර ලියුම කියවන්න ගත්තා. ඇය තව තවත් අඩන්න ගත්තා.

ලියුමේ තිබුනේ මෙහෙමයි!

''ටීනා අද අපේ ගිවිසුමේ දින 100 අන්තිම දවස. මේ දවස් 100ට මම ඔයත් එක්ක ගොඩාක් සතුටු වුනා. වෙලාවකට ඔයා ගොඩාක් නපුරුයි. වෙලාවකට ගොඩාක් අහිංසකයි. සමහර වෙලාවට හරිම මෝඩයි. ඒ කොහොම වුනත් ඔයා තමා මම දැකපු හොඳම ගෑනු ළමයා. ඉතිං... මම එක දෙයක් අහන්නද? මේ දින 100 තව ටිකක් දික්කර ගනිමුද? හැමදාටම වගේ... මොකද මට සදහටම ඔයාගේ ආදරවන්තයා වෙලා ඉන්න ඕන. මම ඔයාට ආදරෙයි.''

ටීනා දුවලා ගියා පීටර් හිටිය ඇඳ ගාවට... ඇය කෑ ගැහුවා...

''ඔයා මට පොරොන්ඳු වුනා දවස් 100 මා එක්ක ඉන්නවා කියලා. ඒකට තව වෙලා තියෙනවා. ඔයාට බෑ මාව දාල යන්න. මමත් ප්‍රාර්ථනා කළා මට ඔයාව සඳහටම ලැබෙන්න කියලා. ඒත් මම ඒක ඔයාට කිව්වේ නෑ. පීටර් මමත් ඔයාට ආදරෙයි. ගොඩාක් ආදරෙයි. ආපහු එන්න. මා වෙනුවෙන් එන්න.''

වේලාව ගෙවිලා ගියා, දින 100ත් ගෙවිලා ගියා. ඒත් ඇය තවමත් දුක්වෙනවා. ඔබ කාටහරි හදවතින්ම ආදරේ නම් එය පවසන්න කවදාවත්ම ප්‍රමාද වෙන්න එපා. මොකද හෙට මොනවා වෙනවද, වේවිද කියන්න කවුරුවත් දන්නේ නැති නිසා. එහේම ප්‍රමාදයක් වුනොත් එය දිගු කාලයකටම පසු තැවීමක් වේවි.

'දුවට හොදටම උණ ඉක්මනට ගෙදර එන්න''

  රාජකාරියේ ඉන්න කොට ඒ ආපු දුරකතන ඇමතුමත් එක්ක ඈන් නෝනා ගොඩාක් කලබල වුනා. ඇය කලබලයෙන්ම වැඩ කටයුතුත් අතහැරලාම කාර්යාලයෙන් පිටවුනා. අතරමග වාහනයෙන් බැහැලා ෆාමසියෙන් බෙහෙත් ටිකකුත් අරන් වාහනයට එන කොට වාහනය ලොක් වෙලා. ඇය කලබලයට වාහනයේ යතුර වාහනය ඇතුලේ තියෙද්දීම දොරලොක් කරලා. ''අනේ දෙවියනේ ! මම දැන් මොකක්ද කරන්නේ.'' ආපහු ගෙදරින් ආපු ඇමතුමට ඇය සිදුවුනු දේ කියද්දී එහා පැත්තෙන් කිව්වේ ''බබාට දැන් නම් ගොඩාක් අමාරුයි ඉක්මනට එන්න'' කියලයි. 

ඈන් ගොඩාක් කලබල වුනා. ''මම මේකට මොකක්ද කරන්නේ? කොහොමද මේ දොර ඇර ගන්නේ? අනේ දෙවියනේ, මට උදවු කරන්න. මට උදවු කරන්න.'' ඇය මුමුණනවා. විනාඩි 5ක් ගත වෙද්දීම කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන කබල් වාහනයක් ඒ පාරේ එනවා. ඔලුව එලියට දාලා ඒ කාරේක ආපු රුවුල වැවිච්ච, ඉතාම අපිරිසිදු වයසක මනුස්සයා... ''නෝනා... මොකද වුනේ? උදව්වක් එහෙම ඕනද?'' කියල ඇහුවා. 

''දෙවියනේ, මේ අපිරිසිදු වයසක මනුස්සයාද මට උදවුවට එව්වේ.'' ඇය හිමින් කෙදිරුවා. 
 ''ඔව්... මගේ දරුවා ලෙඩ වෙලා. කලබල හින්දම යතුර කාර් එකේම තියලා මම දොර ලොක් කරලා. ඔබට පුළුවන්ද දොර ඇරලා දෙන්න? ලොකු උදව්වක්.'' 

 ''පොඩි දෙයක්නේ... මම කරලා දෙන්නම්.'' කිව්ව ඔහු ඉක්මනටම ඒ අසල අහකට විසි කරලා තිබුනු ඇදුම් එල්ලන හැඟර් එකකින් දොර ඇරලා දුන්නා.'' 

''ඔයා නම් හරිම හොද මනුස්සයෙක්... ඔයාට බොහෝම ස්තුතියි !'' ඇය ඔහුව වැලඳ ගත්තා. ''නෝනා !'' ''ඔව්... කියන්න.'' ඈන් කිව්වා. ''නෝනා, මම හොද මනුස්සයෙක් නම් නෙවෙයි. මම මේ දැන් හිරගෙදර ඉදලා එන ගමන්. මම අදයි නිදහස් වුනේ. දන්නවද? මම කාර්, වාහන හොරකම් කරපු එක තමයි කරපු වරද. ඒ වරදට තමා හිරේ ගියෙත්.'' 

 ඈන් ආපහු බොහෝම සතුටින් මේ මනුස්සයව වැලද ගත්තා. ''දෙවියනේ ! මට ඕන කරපු උදවුවට ඔබ ඒ ගැන විශේෂඥයෙක්ම එවලා.'' ඇය බොහෝම හයියෙන් සතුටෙන් කෑ ගැහුවා. 

 අපිට එදිනෙදා ජීවිතයේදී එක එක විදියේ අය මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන හැම කෙනෙකුගේම මොකක්ම හරි වටිණාකමක් තියෙනවා. කිසිම කෙනෙක් අවතක්සේරු කරන්න එපා. මොකද කිසිම කෙනෙක් උපතින්ම නරක නෑ. කොච්චර නපුරු නරක කෙනෙක් ලඟ වුනත් එක හොඳ ගති ගුණයක් හරි තියෙනවා, ඒ දේ ගැන පමණක් සිතා ඔවුන් සමඟ සුහද විම, ආශ්‍රය කිරිම කියන දේ වැරදි කරුවකු ලෙස හංවඩු ගසා පැත්තකට දැමීමට වඩා වැදගත් වේවි. මොකද ජීවිතයේ යම් දවසක ඔබට ඒ අයවත් උවමනා වෙන දවසක් අනිවාර්යයෙන්ම පැමිණෙන නිසා.

වතුර වීදුරුව

      තුර ටිකක් පිරුනු වීදුරුවක් අතින් අර ගෙනම මහාචාර්යවරයා පන්තිය පටන් ගත්තා.

''මේ වීදුරුවේ බර කොපමණ වේවිද?'' ඒක ටිකක් උඩට උස්සපු මහාචාර්යවරයා ශිෂ්‍යයන්ගෙන් ඇහුවා.

 ''ග්රෑම් 50 ! ග්රෑ‍ම් 100 ! ග්රෑ‍ම් 150 !'' මේ වගේ උත්තර ගොඩාක් ශිෂ්‍යයන්ගෙන් ලැබුනා. ''

මේක කොච්චර බරද කියලා මම දන්නෙත් නෑ.'' හිනා වෙලා කිව්ව මහාචාර්යවරයා ආපහු ප්‍රශ්නයක් ඇහුවා. ''මම මේක විනාඩි 2-3 ක් මේ විදිහටම තියාගත්තොත් මෙහි බර කොපමණ වේවිද?''

 ''වෙනසක් වෙන්නේ නෑ'' හැමෝම කෑ ගහලා කිව්වා... 

''හොදයි එහෙනම් පැයක් මේ විදිහටම තියාගෙන හිටියොත් මොනවා වේවිද?'' 

 ''ඔබතුමාගේ අත රිදෙන්න ගනීවී.'' හැමෝම වගේ එක හඬින් කිව්වා... ''

හරියට හරි, දවසක්ම මේ විදිහටම තියාගෙන හිටියොත් මොනවා වේවිද?'' 

 ''අයියෝ... අත රිදිලා, මාංශ පේශී වලට හානි වෙලා සමහර විට අංශ භාග රෝගෙත් හැදිලා ඔබතුමා ඉස්පිරිතාලෙටම ගෙනියන්න වේවි.'' කටකාර ශිෂ්‍යයෙක් එහෙම කිව්වම හැමෝම හිනා වුනා. 

මහාචාර්යවරයත් හිනා වෙනවා. ''ඔක්කෝම හරි. තව ප්‍රශ්ණයක් තියෙනවා. මේ ඔක්කෝම වෙද්දී මේ විදුරුවේ බර වෙනස් වුනාද?'' මහාචාර්යවරයා ආපහු ඇහුවා.

 ශිෂ්යරයයෝ ඔක්කෝම ''නෑ'' කියලා උත්තර දුන්නා... ''එහෙනම් පැයක් තියාගත්තොත් මගේ අත රිදෙන්නයි, දවසක් තියාගත්තොත් මාංශ පේශී වලට හානි වෙන්න එකම බර බලපාන්නේ කොහොද?'' මහාචාර්යවරයා නැවතත් ඇහුවා. ළමයි හැමෝම කල්පනා කරන්න ගත්තා.

 ''ඔබතුමාගේ ඔය වීදුරුව බිමින් තියන්න. එතකොට ඔය ප්‍රශ්ණ මුකුත් නෑ'' එක ළමයෙක් උත්තර දුන්නා... ''නියමයි... හරියටම හරි. දන්නවද?? ජිවිතයේ ප්‍රශ්ණත් ඔන්න ඔය වගේ. මහාචාර්යවරයා කිව්වා.

 ''ටික වේලාවක් ඔලුවේ තියාගත්තොත් ප්‍රශ්ණයක් නෑ. පැයක් දෙකක්, දවසක් තියාගත්තොත් අර ඔයාලා කිව්වා වගේම ඉස්පිරිතාලෙටම ගෙනියන්න වේවි.'' ජීවිතයට එන ප්‍රශ්ණ, අභියෝග සියල්ල භාර ගන්න... ඒවා ගැන හිතන එකත් වැදගත්. නමුත් දවස අවසානයේ ඒ සියල්ලම අමතක කරලා හොද නින්දක් ලබාගන්න. ඒක තමා වඩාම වැදගත්. නැත්නම් ඔබටත් අර කිව්වා වගේම ඉස්පිරිතාලෙටම යන්න වේවි.

වෙනස් වූ ඉල්ලීම

දිනක් කඳු තරණයෙහි යෙදුනු මැදිවියෙහි පසු වූ පුද්ගලයෙකු හට අතරමඟ ගිමන් හරිමින් පසු වූ තරුණයෙකු මුණ ගැසුනි. තම මල්ල ලිහා දමා... ''ආ පුතා, මේ කෑම ටික ගන්න යැයි'' බොහොම පරිත්‍යාගශීලීව ඔහු පැවසීය. 

 හාමතේ පසු වූ නමුදු මල්ල තුළ වූ වටිණා පාශාණය තම දෙනෙතට හසු කර ගැන්මට සමත් වූ තරුණයා... ''මට කෑම එපා, පුලුවන්නම් ඔය මල්ලේ තියෙන ගල මට දෙන්නකෝ'' යැයි ඉල්ලීමක් කරන ලද අතර මැදිවියේ පසු වූ පුද්ගලයා වහාම තම මල්ලට අත රුවා පාශාණය ගෙන තරුණයාට දෙන ලදී. 

තම ජීවිතයම වෙනස් කර ගැන්මට තරම් වටිණා වූ පාශාණය ලද තරුණයා එම පුද්ගලයාට නොසෑහෙන්න ස්තූති කොට එතනින් ඉවත්ව යන ලදී. නමුත් මහල්ලා තම කඳු නැඟීම කර ආපසු එනතෙක් මග බලා සිටි තරුණයා නැවතත් මහල්ලාට එම පාශාණය දී ඉල්ලීමක් කරන ලදී.

 ''මම දන්නවා මේ ගල ගොඩාක් වටිණව කියලා, ඒත් මම නැවතත් ඔබට මේ ගල දෙනවා. ඒ වෙනුවට ඔබ ලඟ තියෙන ඊටත් වඩා වටිණා දෙයක් මට ඕන. ඒ තමයි මේ වටිණ ගල කිසිම පැකිලීමකින් තොරව මට දෙන්න තරම් ඔබ තුළ ඇති කරගත්තු ඒ හැඟීම''

 ඇලීම් වලින් මිදෙනවා කියන එකත් ලේසි දෙයක් නෙවෙයි, එහෙම කරපු කෙනා තරම් ධනවත් කෙනෙක් මේ ලෝකේ වෙන කොතනකවත් නෑ...

නියම දක්‍ෂයා



   එක්තරා කාලෙක ගමක හිටිය ගොවියෙකුට අශ්වයෙකුයි, ඌරෙකුයි අයිති වෙලා තිබුනා. එක දවසක් අශ්වයා ලෙඩ ගානේ ඉන්නවා දැකලා ගමේ හිටපු වෙද මහත්තයාට මේ ගොවි මහත්තයා කතා කලා. ''ම්... අශ්වයාට වෛරස් එකක් ගිහිල්ලා... මම දවස් තුනකට බෙහෙත් දෙන්නම්, අඩු වුනේ නැත්නම් ඉතින් අශ්වයාව නැති කරන්න වෙනවා...'' අශ්වයා බලපු වෙදා කිවුවා. ළග හිටපු ඌරාට මේ ගැන හොදින් ඇහුනා. මේ මගේ යාලුවා, මෙහෙම ගියොත් නම් මෙයාව අපිට නැතිවෙනවා නේද කියලා හිතුවා. ඊලඟ දවසේ උදෙන්ම ආපු වෙදා අශ්වයාට බෙහෙත් කරලා යන්න ගියා. කට්ටියම ගියාට පස්සේ අශ්වයා ළඟට ගියා ඌරා ''යාලුවා ශක්තිමත් වෙන්න... කොහෝම හරි නැගිටින්න බලන්න... අත්හරින්න එපා...'' කියමින් අශ්වයා දිරිමත් කලා. වෙදා අශ්වයාට දෙවනි දවසටත් බෙහෙත් කරලා යන්න ගියා. ඊයේ වගේ ම ඌරා අශ්වයාව ගොඩාක් උනන්දු කලා. ඒත් අශ්වයා කිසිම හැල හොල්මනක් නෑ. තුන්වෙනි දවසේ ප්‍රතිකාර කරලා වෙදා ගොවි මහත්තයට කියනවා ''හෙට අඩු වෙලා තිබුනේ නැතිනම් අපිට මෙයාව මරලා දාන්න වෙනවා... නැත්තම් මේ වෛරසය අනික් අශ්වයොන්ටත් බෝවෙලා මහා විනාශයක් වෙනවා.'' ඌරට ගොඩාක් දුකයි. හැමදාම හිටිය යාලුවා. වෙන දවස් වගේම එදත් ඔහු අශ්වයා උනන්දු කරන්න ගියා. ''යාලුවා නැගිටින්න. මේක අමාරු නැහැ. පොඩ්ඩක් ඇවිදලා පෙන්නන්න. ඔයාට පුළුවන්.'' කොහොම හරි අමාරුවෙන් කෑ ගැහිල්ලත් එක්කම අශ්වයා ටිකක් නැගිටලා ඇවිදින්න වුනා. ඊට පස්සේ දුවන්නත් පටන් ගත්තා. හදිස්සියෙන් ගොවිපළට පැමිණි ගොවි මහත්තයා මේක දැක්කා. ''මගේ අශ්වයාට සනීප වෙලා. විශ්වාස කරන්නත් බෑ ! නියමයි... මේක නම් සමරන්න ඕන සාදයක් දාලා. කෝ මේ ඌරා. අද රැ සාදයට දොස්තර මහත්තයටත් එන්න කියලා ඌරව මසට ගන්න ලෑස්ති කරන්න ඕන.'' මේ විධියට ඌරගේ ජීවිතේ අවසාන වුණා. අපි එදිනෙදා රාජකාරී කරන ස්ථාන වලත් ඕන තරම් සිදු වෙනවා. කරන්න බැරි ගොඩක් දේවල් උන්නදු වෙලා කරන්නේ කෙනෙක්, ඒත් ඒකෙන් ලකුණු දාගන්නේ නම් වෙන කෙනෙක්. ඒත් කරුමේ කියන්නේ අන්තිමේ නරක එන්නෙත් ඒ මහන්සි වෙලා වැඩ කරන අයටම තමයි. තිරයෙන් පිටු පසට වෙලා කාර්යය කරන බොහේ දෙනෙක් ඉන්නවා, එයාලා වැඩිය ලකුණු දාගන්න උවමනාවක් කරන්නේ නෑ. වැඩේ හොඳට කරන එක විතරයි එයාලගේ අරමුණ. දන්නවද, වැඩ පෙන්නන් නැතුව වැඩ කරන එකත් හැකියාවක්..