මනුෂ්‍යත්වය සොයා යමි

Sunday, July 29, 2012

පවුකාරයාට අනුකම්පා කිරීම



ශීතල මීදුම තුරු අතරේ එතෙන්නට විය. අවේගශීලී හිරිමල් යුවතියන් හිරිකඩ පින්නේම දිව ආවාය. දෙනෙත් රතු වී තිබිණි.

පාසැල් සුදු ගවුමට කඩුලු පිණි වැට්ණි. දෙවරක් නොසිතූ ඇය හඩ තලමින් රකුසු වෙසින් ඇදෙන දුම්‍රියට පැන්නාය. යකඩ රේල් පීලී පවා කම්පනයට පත්විය. හිතක් පපුවක් නැති යකඩ කද ඇගේ සියුමැලි සිරුර තලා පොඩිකර දැමීය.                               

සෙනග වටවිය. අනේ සීදේවි කෙළි පොඩිත්ත.. මොනවට මෙහෙම කරගත්තද? සියක් මුවකින් පිටවිණි. දෙවියනේ කාගේ වුනත් මිල කරන්න බැරි ජීවිතයක්නේ. හරි අපරදේ වුනේ. මැසිවිලි ඇසිණ. අපේ ස්කෝලේ අක්කා කෙනෙක්නේ.. අනේ පව්. එකම පාසලේ සොයුරියෝ සන්තාපයට පත්වූහ. තලතුනා බලවතුන්ගේ දෑසට අඩුවක් නැතිව කදුළු නැගිණි. 

ඕපාදූපවලට තටු ලැබී පියබා එන්නට විය. ඕකිගේ බඩට මාස තුනක්ලු. තරුණයෙක් උසුළු විසුළු හඩින් පැවසීය. ඉතා සොවින් කදුලු සැලුවෝ සැණෙකින් කදුළු වියළවා ගත්තෝය. ඉන් අනතුරුව එකදු කදුලක්වත් නොවැටිණි. මහා ටැබක් සේ සංවේග ඉපැද්දූවන් ඇය කෙරෙහි කෝප පවුරු බදින්නට විය. අනේ සීදේවී කෙළි පොඩිත්ති යැයි පැවසූ අයගෙන් ම 'පත්තිනි අම්මා වගේ හිටියට විසේකාර අම්මණ්ඩියෙක් නේ.. මෙහෙම එවුන්ට ගල් ගහලා මරන්න ඕනි' රාව නැගිනි. 

අපේ ඉස්කෝලේ කියන්නත් ලැජ්ජයි.... යෙහෙළියන්ගේ වාග් ප්‍රහාර අමිහිරිතම විය. මිය ගිය යුවති, පුදුමයි නුබේ ගුණ කියූවන්ගේ දිව නුබ සුණු විසුණු කරන්නටම නැවෙන හැටි....

නොනැගිටින් යුවති, දෑස් තරයේම පියාන ඉදින්. නුබ මිය ගියේ ඇයි දැයි දැන් වැටහෙයි. පණ පොදක් නැති නුබේ මළ සිරුර ඔවුනට සාපයකි. ඔවුන්ගේ ඇස් කටු අනින්නාක් මෙනි. නුබ ජීවත් වූවා නම් ඉරණම බිහිසුණුය. නුබටම මිස වගකිව යුත්තාට ඇගිල්ලක් එසවුණේ නැත.

අහෝ! ඛේදයකි යුවති. අනේ! ඔවුන් පවට පිළිකුල් කොට පව්කාර නුබට අනුකම්පා කළා නම්?........

ඩී. එච්. එම්. සාවිත්‍රි කාංචනා

2 අදහස් Comments::

Anonymous said...

:( ලස්සනට ලියල..ඒත් දුකයි! :(

නෙතු නුඹ said...

හුගාක් අය නොදකින ඇත්ත ඒකයි හිරු... හැමෝම තීරණ කරන්නේ ඇස් දෙක එක රාමුවකින් වහගෙන. තමන්ගේ ජීවිතය වාගේම අනිත් අයගේ ජීවිත වලටත් වටිනාකමක් තියෙනවා. ඒක තේරුම් ගන්න අය අඩුයි හිරු..... හුගාක් අය සියදිවි හානි කරගන්නේ සමාජයෙන් එල්ලවෙන බලපෑම් නිසා.

Post a Comment

නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-