මනුෂ්‍යත්වය සොයා යමි

Monday, April 2, 2012

ධනාත්මක වන්න


ලුත විවාහපත් යුවලක් දිනක් බස් රථයකින් ගමනක් යමින් සිටියා. මද දුරක් ගමන් කල ඔවුන් බස් රථයෙන් බැසීමට තීරණය කලේ අත්‍යවශ්‍ය යමක් නිවසේ අමතක වූ නිසයි. 

ඔවුන් බසයෙන් බැස ගත් පසු බසයට වැඩි දුරක් ගමන් කිරීමට හැකි වුනේ නෑ.අසල වූ කන්දකින් ඉතා විශාල ගලක් බසය මතට කඩා වැටීමෙන් බසය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුනා,බසයේ ගමන් කල සියලු මගීන් එම ස්ථානයේදීම මිය ගොස් තිබුනා.
අනතුරෙන් පසුව තරුණ යුවල අන් කිසිවක් පැවසුවේ නෑ,ඔවුන් පැවසුවේ
"අනේ අපි ඒ බස් එකෙන් බැස්සේ නැත්නම්..."කියා පමනයි. ඔවුන් එසේ පැවසූ හේතුව ඔබට අනුමාන කිරීමට පුලුවන්ද? සිතන්න... . . . . . . . . . . . . . ඔවුන් බස් රථයෙන් බසින්නේ නැතුව බස් රථයේම සිටියා නම් එයින් ඉතිරි වන කාලය නිසා බස් රථය මතට ගල නොවැටී බස් රථය බේරීමට ඉඩ තිබුනා.
ජීවිතය දෙස ධනාත්මකව බැලීමට හුරු වන්න..බොහෝ විට ජීවිතයේදී සාර්ථකත්වයේ විරුද්ධ පදය අසාර්ථකත්වය නොව පලා යාමයි. ජයග්‍රාහකයින් පලා නොයයි. පලා යන්නෝ ජයග්‍රහනය නොකරයි.

අධික කෝපය වලක්වා ගන්න

දිනක් මිනිසෙක් තමන් අලුතින් මිලදී ගත් මෝටර් රථය සෝදමින් සිටින අතර දුටුවේ තම පස් හැවිරිදි පුත්‍රයා ගල් කැබැල්ලක් ගෙන මෝටර් රථය සූරමින් සිටින ආකාරයයි. අධික කෝපයට පත් මිනිසා අසල තිබූ යමක් රැගෙන කෝපය නිවෙන තුරු පුතාගේ අතට පහර පිට පහර එල්ල කලා. 

කෝපය නිවී ගිය පසු තමා කල වරදේ බරපතලකම තේරුම් ගත් ඔහු පුතාව රෝහලකට ගෙන ගියා.වෛද්‍යවරුන් දරුවාට ශල්‍යකර්මයක් සිදු කල යුතු බව තීරණය කලා. මිනිසා එල්ල කල පහරවල් වල බරපතල කම නිසා කුඩා පිරිමි දරුවාට ඔහුගේ ඇගිලි සියල්ල අහිමි වුනා. 

පිරිමි දරුවාට සිහිය ආ පසු පියා දෙස වේදනාවෙන් බැලූ ඔහු මෙසේ ඇහුවා "මගේ ඇගිලි ආයෙත් හැදෙන්න ගොඩක් කල් යාවිද තාත්තේ"
මිනිසාට ගොඩක් දුක හිතුන නිසා ඔහු නිවසට ගොස් තමන් ගැනම කෝපයෙන් මෝටර් රථයට පහර කීපයක් එල්ල කලා. මෝටර් රථය අසල වාඩි වුනු ඔහු පුතා විසින් මෝටර් රථයේ සිදු කල සීරීම් පරීක්‍ෂා කලා.
කුඩා දරුවා ගල් කැබැල්ලෙන් මෝටර් රථය මත සටහන් කර තිබුනේ "තාත්තට මම ආදරෙයි" යනුවෙන්.
ඊළග දිනයේ අධික ශෝකය නිසා මිනිසා සිය දිවි නසා ගත්තා. 

ඊලග දිනයේ සුලු සිදුවීමක් නිසා ඔබේ ඉවසීම ගිලිහී ගොස් කෝප වන විට මෙම කතාව සිහියට නගා ගන්න.. සීරුන මෝටර් රථ අලුත්වැඩියා කල හැකි නමුත් බිදුනු හදවත් නැවත අලුත්වැඩියා කල නොහැකියි.

තරුණයා සහ මහල්ලා

වීන පන්නයට හැද පැලද ගත් තරුණයෙක් මුහුදු වෙරළේ සිටි අතර ඔහු පසෙකින් වූයේ අවුරුදු 80ක් පමන වූ මහලු දුර්වල පුද්ගලයෙකි. තරුණයා මහත් ආවේගශීලීව මහල්ලාට පැහැදිලි කරමින් සිටියේ ඔවුන්ගේ පරම්පරාවට නව පරම්පරාව තේරුම් ගත නොහැක්කේ මන් ද යන්නයි.

"සීයලා හැදුනේ වැඩුනේ සම්පූර්ණ වෙනස් ලෝකෙක..." "මම මෙහෙම කිව්වට තරහා වෙන්න එපා ඒක හරිම ප්‍රාථමික එකක්"ඔහු මහ හඩින් පැවසුවේ අවට අයගේ අවධානයත් ඔවුන් වෙත ලබා ගැනීමේ අටියෙනුයි.
"අපේ පරම්පරාව හැදුනේ ජංගම දුරකථන, රූපවාහිනී,පරිඝනක,ලැප්ටොප් එක්ක... අපේ පරම්පරාවේ අය දැක්කේ මිනිස්සු හද මත ඇවිදින හැටි,ශබ්දයේ වේගයට වඩා වේගෙන් ගමන් කරන ජෙට් යානා..." "ලෝකේ අනිත් පැත්තේ වෙන දෙයක් ඒ මොහොතෙම බලන්න අපේ පරම්පරාවේ අයට හැකියාව තියනවා."තරුණයා පැවසුවේ සරදම් සිනහවක් සමගයි. 

තරුණයාට හොදින් ඇහුම් කන් දුන් මහල්ලා මද වේලාවක් නිශ්ශබ්දව සිටියා
"පුතා කිව්ව කාරණාව ඇත්ත...අපි පොඩි කාලේ ඔය කියන මොකුත් අපිට තිබුනේ නෑ...ඉතින් අපි ඒවා නිපදෙව්වා...දැන් පුතා ඊළග පරම්පරාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?"
ඔබට අන් අය ලබා දී ඇති දේ නොව ඔබ අන් අයට ලබා දී ඇති දේ පිලිබද විමසිලිමත් වන්න.

මෙලොව විශ්වාසනීයම පිරිමියා

කුඩා පවුලක් වෙරළ අද්දර නිවසක ජීවත් වූ අතර මව පියා සහ වයස අවුරුදු 5 සහ අවුරුදු 9 වන දියණියන් දෙදෙනෙකුගෙන් ඒ පවුල සමන්විත වුනා. දිනක් ඔවුන් මුහුදේ නෑමට යන්න තීරණය කල අතර පියා සහ දියණියන් දෙදෙනා පමනක් ගියේ මවට නිවසේ රාජකාරි බහුල වූ නිසයි. ඔවුන් මද වේලාවක් මුහුදේ දිය නාමින් විනෝද වූ නමුත් මද වේලාවකින් පියාට වැටහුනේ දිය තරංගයකට හසු වී ඔවුන් තිදෙනා වෙරලෙන් ඈතට ගසාගෙන ගොස් ඇති බවයි. සිද්ධියේ භයානක කම ඔහුට වැටහුනු අතර මුලින්ම කුඩා දියණිය රැගෙන වෙරළට පිහිනීමට තීරණය කලේ එක්වර දියණියන් දෙදෙනාම රැගෙන පිහිනීමට තරම් ඔහුට හැකියාවක් නොමැති නිසායි. ආපසු වෙරළට පිහිනීමට පෙර වැඩිමහල් දියණිය ඇමතූ ඔහු මෙසේ පැවසුවේය, "දුවේ හොදට අහගන්න...මම නංගිව වෙරළන් තියලා එනකම් දුව ගිලෙන්නේ නැතුව ඉන්න ඕනෙ... මම දුවට ගොඩක් ආදරෙයි...තාත්තා දුවව ගන්න එනකම් දුව ගිලෙන්න නැතුව ඉන්න ඕනි... හොදට මතක තියාගන්න තාත්තා දුවට ගොඩාක් ආදරෙයි" මෙසේ පැවසූ ඔහු බාල දියණියව වෙරළට නිරුපද්‍රිතව ගෙන ගිය අතර ඒ වහාම නැවතත් දියඹට පීනුවේ වැඩිමහල් දියණියව බේරා ගැනීමටයි. ඇය සිටී යැයි ඔහු විශ්වාස කල ප්‍රදේශයට ඔහු පිහිනා ගිය නමුත් බොහෝ වේලාවක් ගියත් ඔහුට ඇයව සොයා ගැනීමට හැකි වුනේ නෑ. මේ වන විට තම ශක්තිය හීන වී යන බව දැනුනු නිසා ඔහු නැවතත් වෙරළට පිහිනූ අතර ඉතිරිව ඇති මද ශක්තියෙන් වෙරළේ දිව ගොස් බෝට්ටුවක් සහිත පුද්ගලයෙක්ව සොයා ගත් ඔහු නැවතත් බෝට්ටුවේ නැගී දියණියව සෙවීමට පටන් ගත්තා. මෙලෙස අඩ පැයක් පමන ගත වූ නමුත් ඔවුන්ට ඇයව සොයා ගැනීමට හැකි වුනේ නෑ. මේ වන විට ඇය පිලිබද බලාපොරොත්තු ඔවුන්ගේ සිතින් ගිලිහෙමින් පැවතියා. නමුත් මද වේලාවකින් ඔවුන් ඇයව දුටු අතර ඔවුන් පුදුමයට පත් වුනේ ඇය නොගිලී දියෙහි පාවෙමින් සිටි නිසයි.ඇයව බේරාගත් අතර නැවත වෙරළට පැමිනෙන අතර බෝට්ටුවේ හිමි කරුවා ඇගෙන් විමසුවේ මෙතරම් වෙලාවක් නොගිලී සිටියේ කෙසේද යන්නයි. "මගේ තාත්තා කිව්වා එයා මට ගොඩක් ආදරෙයි,එයා මාව ගන්න ආපහු එනවයි කියලා... තාත්තා මාව ගන්න එන බව දන්න නිසා මම කොහොම හරි ගිලෙන්නේ නැතුව හිටියා."

අනේ පුතේ උඹට රිදුනද?

කුඩා අවදියේදී පියා මිය ගිය පසු තම එකම පුතා සමාජයට වැඩදායී මිනිසෙකු කිරීම ඇගේ පරම අභිලාශය විය... දිනය පුරා කුලී වැඩ කිරීමෙන් උපයා ගත් මුදල් අරපිරිමැස්මෙන් වියහියදම් කල ඇය ඒවා ඉතිරි කලේ ඔහුගේ අනාගත අභිවෘද්ධිය සදහාමය. තම බත්පත පුතුට දී ඇය නිරාහාරව ගත කල වේල් ගනන අපමනය.

මව තමා වෙනුවෙන් කරනා කැපකිරීම පිලිබද අවදියෙන් සිටි පුතු මවගේ බලාපොරොත්තු ඉහල නංවමින් ඉතා හොදින් අධ්‍යාපන කටයුතු වල නිරත වූ අතර අවසානයේ සරසවි වරම් දිනා පසුව ඉහල රැකියාවක යෙදීමට ඔහුට හැකියාව ලැබුනි. නිසි වයස ආ පසු ඉහල පවුලකින් විවාහයක් කරගත් ඔහු බිරිදත් මවත් සමග පදිංචියට නව පන්නයේ නිවසක්ද තැනවීය. තමා සහ තම සැමියා සමග එකට වාසය කරන මහලු මවට බිරිද සිත යටින් වෛර කල අතර සැමියා ඇයට දක්වන මහත් වූ සෙනෙහස නිසා ඒ වෛරය දෙගුණ තෙගුණ වූවත් ඒ පිලිබදව සැමියා හා පැවසීමට ඇය මැළි විය.
 මද කලක් ගත විය,බිරිය ගැබ්බර විය,ඔහු සතුටින් ඉපිල ගියේය.මේ අතර බිරිදට දොලදුකක් පහල විය.එය අසම්මත ආකාරයේ දොලදුකකි.එනම් තම නැන්දනිය මරා ඇගේ හදවත ආහාරයට ගැනීමේ රුදුරු අශාවයි. ඇය මේ පිලිබදව තම සැමියාට පැවසීය. ඇගේ ඉල්ලීමෙන් වික්‍ෂිප්ත වූ ඔහු ඇයට බැන වැදුනි. නමුත් ඇගේ ආශාව දිනෙන් දින උත්සන්න විය. ඇය දිනපතා සැමියාට කන්නලව් කලේය.දොලදුක ඉටුකර ගැනීමට නොහැකි වුවහොත් තමා සහ තම කුස තුල සිටින කිරිකැටියා මිය යා හැකි බවට පවසන්නට විය. තීරණාත්මක මොහොත එලබිනි. තමා කුඩා කල සිට අපමන කැපකිරීම් කරමින් තමා උස්මහත් කල මව මරා බිරිදගේ දොල දුල ඉටු කිරීමට ඔහු තීරණය කලේය. දිනක් උදෑසනම අවදි වූ ඔහු මව රවටා ඇයත් සමග අසල වූ වන රොදකට වැදුනු අතර එහිදී තම මව මරා දැමූ ඔහු ඇගේ හදවතත් රැගෙන යලි නිවසට ඒමට පිටත් විය. ඔහුට ඒමට ලැබුනේ මද දුරකි,ගලක පය පැටලී ඔහු බිම ඇද වැටුනු අතර පය තුවාල වී ලේ ගලා යාමට විය..

එවිටම මවගේ හදවතින් ශබ්දයක් නැගුනි,
"අනේ පුතේ උඹට රිදුනද?"

භූමි කම්පා වලින් පොලව ඉරි තලා යා හැක, සැඩ සුලං වලින් රූස්ස ගස් ඉදිරී යා හැක, චන්ඩ රළ වලින් විශාල නෞකා පෙරලී යා හැක, නමුත් දරුවන් ගේ අනේක සිත් රිදවීම් හමුවේ වුවද මවු සෙනෙහස නොබිදී පවතී... මවට සමකල හැකි තවත් කෙනෙක් මෙලොව සිටීද?

අවංක වචනයක බලය

රාහුල් යනු ඉන්දියාවේ කුඩා ගමක ජීවත් වූ දරුවෙකි. පාසලේ ඉතා දීප්තිමත් සිසුවෙකු වූ ඔහු හැම වාරයකම පන්තියේ පලමු තැන දිනා ගත්තේ මවුපියන් ඔහු කෙරේ තැබූ බලාපොරොත්තු ඉහලින්ම ඉටු කරමිනි. ඔහුගේ දක්‍ෂතා තවදුරටත් ඔප් නැංවීමට ඔහු අධ්‍යාපනය ලබන කුඩා පාසල අපොහොසත් වේ යැයි ඔහුගේ මවුපියන් විශ්වාස කල නිසා ඔහුව නගරයේ පාසලකට යැවීමට ඔවුන් තීරණය කලහ.ඒ අනූව නේවාසිකව අධ්‍යාපනය ලැබීමට ඔවුන් රාහුල්ව නගරයේ විශාල පාසලකට ඇතුල් කලෝය. 

 නව පාසලට ඇතුල් වී වැඩි කාලයක් යන්නට මත්තෙන් රාහුල් විශාල පරිවර්තනයකට බදුන් විය.මීට පෙර පාසලේදී ඉතා ඉහල දක්‍ෂකම් පෙන්වූවත් නව පාසලේදී ඔහුගේ දක්‍ෂතා සීඝ්‍රයෙන් පසු බැසීය.මීට පෙර පාසලේදී මිතුරන් පිරිවරා ගත් ක්‍රීඩාශීලී දරුවෙකු වූ නමුත් නව පාසලේ ඔහුට මිතුරන් නොවූ අතර නිතරම තනිව සිටීමට ප්‍රිය කලේය.තමාට ලෝකයේ කිසිවෙකුත් ආදරය නොකරන බවක් ඔහුට හැගුන අතර තමන් නොවටිනා පුද්ගලයෙකු බව ඔහු විශ්වාස කලේය.

 තම දරුවාගේ වත්මන් තත්වය පිලිබද දැනගත් දෙම්ව්පියන් විශාල ලෙස කණගාටු වූ නමුත් ඔහු මෙම තත්වයට පත් වීමට හේතුව තවමත් ඔවුන්ට රහසක් විය.එම නිසා රාහුල්ව මුන ගැසී ඔහු සමග සාකච්ඡා කිරීමට තීරණය කල ඔහුගේ පියා ඔහුගේ පාසලට පැමිනියේය. නේවාසිකාගාරය අසල වූ දොල පහරක් අසල ඔවුන් වාඩි වූ අතර මුලින්ම පියා පාසලේ ගුරුවරුන්, නේවාසිකාගරයේ ආහාර, පන්තියේ ළමුන් පිලිබදව සාමාන්‍ය ප්‍රශ්ණ ඇසූ අතර මද වේලාවකින් ඔහු මෙසේ ඇසීය,
 "පුතා දන්නවද අද මම පුතාව බලන්න ආවේ ඇයි කියලා?"
 "මගේ ලකුණු බලන්න වෙන්න ඇති" රාහුල් පිලිතුරු දුන්නේ නොරිස්සුමකිනි.
 " නෑ නෑ පුතා වැරදී" පියා පිලිතුරු දුන්නේය. "මම අද පුතාව බලන්න ආවේ අම්මගෙයි මගෙයි ජීවිතේ වැදගත්ම පුද්ගලයා පුතා බව කියලා යන්න." "අපට අවශ්‍ය පුතා සතුටින් ඉන්නවා බලන්න...අපට පුතාගේ ලකුණු වලින් වැඩක් නෑ,අපට වටින්නේ පුතාව...පුතා තමා අපේ ජීවිතේ..."
 පියාගේ වදන් ඇසූ රාහුල්ගේ දෙනෙත් කදුලින් පිරී ගිය අතර ඔහු පියාව වැලද ගත්තේය. 
"මගේ ජීවිතයත් ඔයාලා දෙන්නයි තාත්තේ" ඔහු පැවසුවේය. 

තමා පිලිබදව තමන්ටත් වඩා සැලකිලිමත් දෙදෙනෙකු මෙලොව සිටින බව තේරුම් ගත් රාහුල්ගේ දක්‍ෂතා මද කලෙකින් ඉස්මතු වූ අතර ඔහු අද පාසලේ දීප්තිමත්ම සිසුන් ගෙන් අයෙකි. අප බොහෝ විට එක් වචනයක,කුඩා සිනහවක අවංක ප්‍රශංසාවක ඇති බලය අවතක්සේරු කරමු, ඒ සැමටම ජීවිතයක් සම්පූර්ණයෙන් වෙනස් කිරීමේ බලයක් ඇත..

දිනපොත

යගේ දිනපොත :
අද රෑ අරයා හරි අමුතුයි කියලා මට හිතුනා. අපි උදේ කතා වෙලා හිටියේ අද රෑ කෑම ගන්න හොද රෙස්ටුරන්ට් එකකට යන්න. මම අද මුලු දවසම යාලුවෝ එක්ක ෂොපින් කලා,ඉතින් මට හිතුනා මම ගෙදර එන්න ටිකක් පරක්කු උන නිසා එයාට තරහා ගිහින් කියලා,ඒත් එයා ඒ ගැන මොකුත්ම කිව්වේ නෑ. එයා මා එක්ක කතා නොකර බලාගත්තු අත බලාගෙන හිටිය නිසා මම කිව්ව කොහේ හරි නිස්කලංක තැනකට ගිහින් කතා කර කර ඉමු කියලා.එයා ඒකට කැමති උනා,ඒත් මගේ එක්ක කතා කලේ හරිම අඩුවෙන්. ඉතින් මම එයාගෙන් ඇහුවා මොකද්ද ප්‍රශ්ණේ කියලා,ඒත් එයා කිව්වා කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා. ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා එයා දුකෙන් ඉන්නේ මගේ වැරැද්දක් නිසාද කියලා,ඒත් එයා කිව්වා එයා දුකෙන් නෙවේ ඉන්නේ,මම කිසිම වරදක් කලේ නෑ ඒ ගැන හිතන්න එපා කියලා. අපි ගෙදර එන අතරමගදි මම එයාට කිව්වා මම එයාට ගොඩක් ආදරේ කරන බව,ඒත් එයා යන්තමින් හිනා වෙලා දිගටම කාර් එක ඩ්‍රයිව් කලා.මට හිතා ගන්න බෑ එයා ඒ හැසිරුන විදිහ,ඇයි එයා මගේ දිහා බලලා "මමත් ඔයාට ගොඩාක් ආදරෙයි වස්තුව" කියලා කිව්වේ නැත්තේ? ගෙදර ආවාම නම් මට හිතුනා එයාට මාව එපාම වෙලා කියලා,මගේ දිහා බැලුවෙවත් නෑ ටී වී එක දාගෙන ඒක බලන්න පටන් ගත්තා,වචනයක්වත් කතා කලේ නෑ. ඉතින් මම ටික වෙලාවකින් ඇදට ගියා,විණාඩි 15කින් විතර එයත් ඇදට ආවා,ඒත් එයාගේ හිත තිබුනේ වෙන කොහෙවත්,එයාට ඉක්මනට නින්ද ගියා. මම හොදටම ඇඩුවා,මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා,මට හොදටම විශ්වාසයි එයාගේ හිතේ දැන් ඉන්නේ වෙන කෙනෙක්,අනේ මම ජීවත් වෙලා වැඩක් නෑ.

හුගේ දිනපොත:
ෂික්...ලංකාව අදත් මැච් එක පරාදයි