මනුෂ්‍යත්වය සොයා යමි

Wednesday, March 21, 2012

ඔබ තෘප්තිමත්ද?

     න්දියාවේ මුම්බායි වල විදීයක ජීවත් වුණු වයසක මනුස්සයෙක් උදේම නැගිටලා උමං මාර්ගය දිගේ ගිහින් නගරේ කොනක ඉදගෙන හිගමන් යදින්න පුරුදු වෙලා හිටියා. ජීවිතේ හැම දවසකම නොවරදවා කරන මේ පුරුද්දට දැන් අවුරුදු 20 ක් විතර. ඒත් ඔහු තාමත් එකම තැන හිගමන් යදිනවා. හරිම අපිරිසිදු වෙච්ච විදීයේ තිබුන ඔහුගේ නිවසේ දුර්ගන්ධය හින්දා දවසක් අවට මිනිස්සු පොලීසියට පැමිණිලි කරා.

පොලීසිය මේ ගෙදර සුද්ද කරගෙන යනකොට තැනින් තැන බෑග් වල දාපු පොඩි කාසි, මුදල් බෑග් ගණනාවක් හම්බුනා. ඒ මේ මනුස්සයා අවුරුදු ගානක් හිගමන් යැදි සල්ලි.. පොලිස් නිලධාරින් මේ සල්ලි ගණන් කරා. ඔවුන්ට පුදුමයි ! එතන මිලියන ගානක සල්ලි. මේ හිඟන මනුස්සයා ලක්‍ෂපතියෙක්. නිවසත් පිරිසිදු කරලා මේ මනුස්සයා එනකන් පොලිස් නිලධාරින් බලන් හිටියා මේ සුබ ආරංචිය කියන්න. ගොඩාක් හවස් වෙලා වයසක මනුස්සයා තමන්ගේ ගෙදරට ආවා.

 ''මනුස්සයෝ, මේ ඇහුනද තමුන් දැන් ලක්‍ෂපතියෙක්. සල්ලිකාරයෙක්. තවත් හිඟා කන්න ඕන නෑ. අද ඉඳන් ලස්සනට ඉන්න තමයි තියෙන්නේ...'' මේ මනුස්යාය මුකුත් කිව්වේ නැ. ගේ ඇතුලට ගිහිල්ලා දොර වහගත්තා. පුදුමේ කියන්නේ ඊළග දවසෙත් පුරුදු වෙලාවට, පුරුදු විදිහටම, පුරුදු තැනම හිගමන් යදින්න මේ පුද්ගලයා ගියා. මේක ආරංචි වුණු පොලීසියේ කිහිප දෙනෙක් හවස මේ මනුස්සය මුණ ගැහෙන්න ඇවිත් කාරණය විමසුවා. එතකොට මේ මනුස්සයා කිව්වේ මෙච්චරයි...

 ''අනේ මහත්තයෝ, මම සතුටෙන් කරන එකම දේ හිඟා කන එක විතරයි.'' පුදුමයි නේද? එක් එක් අයෙකුගේ සතුට කියන දේ එක් එක් කෙනෙකුට සාපේක්‍ෂව වෙනස් වෙනවා. මෙන්න මේ දේ කරල සතුටින් ඉන්න කියල අපිට තවත් කෙනෙකුට කියන්න පුළුවන් කමක් නෑ. මොකද ඒ කෙනා සතුටු වෙන්නේ වෙනස්ම විධියකට වෙන්න පුළුවන් නිසා. කෙනෙක් බොහෝම සතුටින් කරන දෙයක් කෙනෙකුට පිස්සුවක් වෙන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්න එක දෙයයි, තමුන් කරන මොන දේ වුනත් සතුටින්, ආත්ම තෘප්තියකින් යුතුව කරන එක විතරයි.

◄ පේන දේ සහ ඇත්ත දේ ►

    සුරංගනාවියෝ දෙන්නෙක් ගමනක් යන ගමන් රාත්‍රියේ නවතින්න පෝසත් ගෙයක් තෝරගත්තා. ගේ පෝසත් වුනත් ඒ පවුල නම් ගොඩාක් නපුරුයි. අනික මේ අය එහි නැවතුනාටවත් වැඩි කැමැත්තක් නෑ. නවතින අමුත්තන්ගේ කාමරය වෙනුවට දුන්නේ පුංචි ඉඩ කඩක්. බිම පොලවේ තමා නිදාගන්නත් වුනේ. එහෙම බිම නිදාගන්න හදනකොටම අහම්බයෙන් එතන හිටපු වයසින් වැඩි සුරංගනාවිය බිත්තියේ තියෙන සිදුරක් දැකලා ඒක ඉක්මනටම ලස්සනට හැදුවා. ඒක දැකපු අනිත් වයසින් බාල සුරංගනාවිය ඇහුවා... ''ඇයි ඔයා ඒක හැදුවේ?'' ''හැමදේම හැමවෙලාවේම පේන දේම නෙවෙයි'' වයසින් වැඩි සුරංගනාවිය කිව්වා

ඊළග දවසේ රෑ මේ දෙන්නා දුප්පත් නිවසක රාත්‍රිය ගත කරන්න සුදානම් වුනා. එහේ හිටියේ දුප්පත් හරිම හිත හොද ගොවියෙකුයි එයාගේ නෝනයි. තිබුන කෑම ටිකත් හතරදෙනා එක්කම බෙදා ගත්ත මේ අය අමුත්තෝ දෙන්නට එයාලගේ එකම ඇදත් නිදාගන්න හදලා දුන්නා. අයියෝ ! උදේම ගොවියයි එයාගේ නෝනයි හරිම දුකෙන් අඩනවා. නැගිට්ට ගමන්ම මේ දෙන්නා දැක්කේ මේ සිද්ධිය. මොකද මේ? හොයලා බලද්දි මේ අය ජීවත් වෙන්න මුදල හොයාගන්න කිරි දොවන එලදෙන මැරිලා.

 ''ඇයි ඔයා මේකට මුකුත් නොකරන්නේ? මුලින්ම අපි නැවතුන තැන හැමදේම තිබුන කෙනාට නම් ඔයා උදව් කලා. අපිට හොඳින් සලකපු දුප්පත් මේ අහිංසකයාගේ එලදෙන නැති වෙනකන් ඔයා බලන් හිටියා.'' වයසින් අඩු සුරංගනාවි ටිකක් තරහෙන් කියන්න වුනා.

 ''හැමදේම හැමවෙලාවේම පේන දේම නෙවෙයි, 
දන්නවද? මම ඒ අපි මුලින්ම නැවතුන ගෙදර බිත්තිය සිදුරෙන් ඇතුලෙ තිබුනා රත්තරන් ගොඩාක්. තමන්ගෙ ලග තියෙන දේ අනිත් අයත් එක්ක බෙදාගන්න බැරි අයට මොකටද තවත් නිධානයක්. බිත්තියේ තිබුන සිදුර මම වහලා දැම්මා.'' එතකොට මේ දුප්පත්‍ යුවලගේ එළදෙනෙ ගැන නේද, හ්ම්ම්... ඊයේ රෑ මරණයේ සුරංගනාවිය ආවා. එයා ආවේ ගොවියගේ බිරිඳ අරගෙන යන්න. ඒත් මම ඇය වෙනුවට එලදෙනව ඇයට දුන්නා. එච්චරයි. 

අපේ ජීවිත වලත් අපේ ඇස් බොරු වෙන දේවල් ඕන තරම් සිදු වෙනවා. ඒ නිසා දෙයක් ගැන ඉක්මනින් තීරණයකට එන්න කලියෙන් ටිකක් සොයල බලන්න අපේ යාලුවොත් හිතට ගන්න. ''හැමදේම හැමවෙලාවේම පේන දේම නෙවෙයි'' එහේම නේද??

ලී පිඟාන

    මන්ගේ වයසක ආදරණීය බිරිඳ නැතිවුනාට පස්සේ තනිවුන වයසක ඔහු එයාගේ එකම පුතයි, ලේලියයි අවුරුදු 4ක් වුණු මුණුබුරයි ඉන්න ගෙදර පදිංචියට යන්න ගියා. අත් වේවලනවා. පෙනීමත් දැන් බොහෝම දුර්වලයි. අනික වයස හින්දම ඇවිදින්නෙත් බොහෝම අමාරුවෙන්. මේ පවුල රාත්‍රියට තමන්ගේ කෑම වේල ගන්නේ එකම මේසයක වාඩිවෙලා. සුහුද කතා බහත් එක්ක. සීයත් මේ මේසේම කෑම කනවා. හැබැයි හැමදාම වගේ වයසක සීයා එහෙම නැතිනම් මේ ගෙදර පුතාගේ ''තාත්තා'' මේසේ පුරාමයි, බිමයි කෑම ජාති හලා ගන්නවා. ඒ මිදිවට පිගන් කෝප්ප එහෙමත්. ඒ ඉතින් එයා වයස හින්දා. ලේලියට වගේම පුතාටත් මේක කරදරයක්. දවසක් ලේලිය කෑම මේසේදීම තරහින් තම ස්වාමිපුරුෂයාට මෙහෙම කියනවා... ''මේක නම් හරියන්නේ නෑ. මට දැන් ඇති වෙලා තියෙන්නේ. හැමදාම එක වගේ, ඔයාගේ තාත්තටට නම් මොකක් හරිම කරන්න වෙනවා

 හැමදාම කෑම හලා ගන්නවා. මට තියෙන වැඩ මදිවට තව වද දෙනවා.'' පුංචි පුතත් පුදුමයෙන් මේ දේ බලා හිටියා.

ඊලග දවසේ මේ නෝනයි මහත්තයයි දෙන්නා ගේ මුල්ලක පොඩි මේසයකුයි, පුටුවකුයි හදලා වෙනදා කෑම වෙලාවට සීයගේ කෑම වේල එතනට ලැහැස්ති කලා. ඒ විතරක් නෙවේ. මේ ලේලිය තමන්ගේ පුංචි දරුවට ඒකට ඕන තවත් දේ ගේන්නත් කිව්වා. ''පුතේ... සීයට කෑම දෙන්න ඔය ලී පිඟාන මෙහේට අරන් එන්නකෝ. දැන් ඉතින් ඔයාගේ සීයා කොච්චර පිඟන්, කෑම බිම දැම්මත් කමක් නෑ. දැක්කද කෑම කන්නේ මුල්ලකනේ. අනික පිගානත් ලී.. ඇය සතුටෙන්ම කිව්වා.'' පුංචි පුතා, මේ සියගේ මුණුබුරා ලී පිගානත් ගෙනල්ලා දුන්නා. දින ගත වී ගෙන යනවා... මේ පවුල තමන්ගේ කෑම වේල් සතුටින් පුරුදු මේසේම ගන්නවා. සීයා මුල්ලක තියෙන මේසයේ ලී පිගානක තමන්ගේ කෑම වේල ගන්නවා. එකත් වෙව්ල වෙව්ල හරිම දුකෙන්. ඉඳ හිට කඳුලු බිංඳුවක් දෙකක් බත් පිඟානට නොවටුණා නෙවෙයි.

 සතියකට විතර පස්සේ පුතා වැඩ ඇරිලා ගෙදර එනකොට පුංචි පුතා ලී කෑලි වගයක් අරගෙන සෙල්ලමක් කරනවා. ''පුතේ... මොනාද පුතේ ඔයා ඔය හදන්නේ? සෙල්ලම් වාහනයක්ද?'' ඔහු ආදරයෙන් ඇහුවා. ''නෑ නෑ තාත්තේ... මම මේ ලී පිඟන් දෙකක් හදනවා.''
 ''ඒ මොකටද පුතේ ඒ?'' ''අර අපේ සීයට දුන්නේ, අන්න ඒ වගේ අම්මයි තාත්තායි වයසට ගියාම කෑම දෙන්න පිඟන් දෙකක් ඕනනේ. මම ඒවා හදනවා.'' පොඩි එකා කිසිම ගාණක් නැතිව උත්තර දුන්නා. මේ පිලිතුර දුන් ගමන්ම පුතාගේ වගේම ඒ ගැන බලන් හිටපු ලේලියටත් කට උත්තර නැතිව ගියා. ඒ දෙන්නා මුහුනට මුහුන බැලුවා.

එදා හවසම පුතයි ලේලියි අර ගේ මුල්ලක තිබුනු ලී මේසය අයින් කරලා දැම්මා. මුල් දවස් වල වගේම එකම මේසයක එකට වාඩිවෙලා මේ පුතයි ලේලියි, මේ අසරණ ''තාත්තා'' නැතිනම් මුනුපුරාගේ සීයා කෑම කනවා. මොන දේ ඉහිරුනත් ඒ ගැන කිසිම දොසක් නොකියන්නත් මේ වයසක තාත්තට හොදින් සලකන්නත් යුතුකම් හොදින් ඉටුකරන්නත් වග බලා ගත්තා. පුංචි ළමයි හැමදේම හරි අවධානයෙන් බලනවා. මොකද ඔවුන් ක්‍රියා කරන්නේ අපි ක්‍රියා කරන විදිහ බලලා ගන්න අදහසින්. අන්න එයින් මනසට, බුද්ධියට ලැබෙන දේ සමහරක් ඔවුන් අනාගතයටත් ඉතිරි කරගන්නවා. ඉතින් පුංචි ළමයි ඉදිරියේ එහෙම වැරදි දේ නොකරන්නත්, අපි හදා වඩා ගත්ත අපේ අත පය දැඩි කල අපේ දෙමව්පියන්ටත් ඔවුන් මොන තත්වයේ සිටියත් කලගුණ සලකන්නත් අපි වගබලා ගතයුතුයි ! මොකද අපිට ඒකට ලැබෙන්නේ බොහෝම ටික කාලයක් විතරයි, එහේම නේද යාලුවනේ?

Brielle සහ Kyrie

   එක් පුංචි උණුසුම් වැලඳ ගැනීමකින් ජීවිතයක් රැකෙනවා කිව්වොත් පුදුමයි නේද? ඉහත රූපයේ දැක්වෙන්නේ පුංචි නිවුන් සහෝදරියන් දෙදෙනෙක්. එයාලා නම් වලින් Brielle සහ Kyrie ඔවුන් මෙලොව එළිය දකින්න නියම වෙලා තිබුණු දිනට සති 12ට කලින් මේ ලෝකයට ආයුබෝවන් කිව්වා. ඒත් ඒ නිසාම ඔවුන්ට සිදුවුනා ඉන්කියුබේටර්ස්(incubators) වල සහය පතන්න. Kyrie නම් ඉන්කියුබේටරයේ පිහිටෙන් ජීවිතය ආරම්භ කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික ඇයගේ සෞඛ්‍යය තත්වය යහපත් වුණා

ඒත් පුංචි Brielle, අනේ ඇය හුස්ම ගැනීමේ අපහසුතාවයකින් වගේම රාත්තල් 2ක් පමණක් බරින් යුතුවූ නිසා ජීවත අවධානමක අතරමං වුනා. ඇය ජීවත් වේවියැයි කිසිවෙකුත් බලාපොරොත්තු වුනේ නෑ. ඔවුන් බලාගන්න භාරව සිටිය රෝහලේ සේවය කරපු හෙදිය ඇයට හැකි හැමදේම කරා, ඒත් කිසිවක් Brielleගේ සෞඛ්‍යය තත්වය යහපත් කරන්න හේතුවක් වුනේ නෑ. අවසානයේ ඇය රෝහලේ නීතී වලට පිටින් ඇයගේ හදවතට හරියැයි සිතුණු කාරණයක් ක්‍රියාවට නැගුවා, එනම් ඇය පුංචි Brielle සහ Kyrie එකම ඉන්කියුබේටරයක තබන්න තීරණය කරා.ඇය පුංචි Brielleට සහ Kyrieට නිදන්නට ඉඩ හැර ටික වේලාවකින් නැවතත් ඔවුන් දෙදෙනා අසලට පැමිණියා.

 ඇයට ඇය දුටු දෙයින් ඇස් අදහාගත නොහැකි වුනා. වෛද්‍යයවරුන්ට සහ අනෙකුත් සේවක මණ්ඩලයට වහාම පුංචි Brielle සහ Kyrie සිටින කාමරයට පැමිණෙන ලෙස ඇය දැනුම් දුන්නා. ඔවුන් පැමිණෙන විට Brielle සහ Kyrie සිටි අයුරු තමයි ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ. 

පුංචි Brielle ඇයගේ සහෝදරිය අසලට ලංවෙද්දී, Kyrie ඇයගේ පුංචි අතකින් ඇයගේ සහෝදරියව වැලඳගෙන තිබුණා. ඒ මොහොතේ පටන්ම Brielleගේ හෘද ස්පන්ධන වේගය සාමන්‍යය අතට පත්වෙලා. ඒ මොහොතේ පටන් ඔවුන් දෙදෙනා එක් incubatorයක තබන්නට වෛද්‍යයවරුන්ද තීරණය කරා. පුදුමයි නේද, පුංචි උණුසුම් වැලඳ ගැනීමකින් ජීවිතයක් බේරුනු හැටි. ඔයාලත් ඔයාලගේ සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න. හැම නෑ කමටම වඩා ලේ නෑ කම ලොකුයි කියල සිහියේ තබා ගන්න.

ජීවිතේ හමුවුන හොදම ගුරුතුමිය


මෙය වසර ගණනාවකට පෙර පාසලක පහළ පන්තියක ගුරුවරියක් මුහුන දුන් සිද්ධියකි. ඇය 5 වසර පන්ති භාර ගුරුතුමිය වූ අතර නව වසරේ ඇගේ නව පන්තිය ඉදිරියට පැමිනි ඇය ගුරුවරුන් පොදුවේ පවසන බොරුවක් ළමුන් හා පැවසූවාය.එනම් ඇය පන්තියේ ළමුන් සියලු දෙනාටම එක හා සමානව ආදරය කරන බවත් ඔවුන් සියලු දෙනා ඇයට එක හා සමාන බවත්ය...

ඇගේ මෙම වැකිය බොරුවක් වීමට ආසන්නතම හේතුව වූයේ පන්තියේ ඉදිරිපස පේලියේ වාඩි වී සිටි ටෙඩී නම් කුඩා පිරිමි දරුවාය.. සෑම දිනකම තම සිරුරට වඩා විශාල වූ අපිරිසිදු ඇදුම් හැද පාසලට පැමිනෙන ඔහු අසලින් සැර දහඩිය ගදක් පිටවූයේ ඔහු දිනපතා ස්නානය නොකරන නිසා විය යුතුය.. ඔහුට මිතුරන් සිටියේ නැත. විවේක කාලයේ අනෙක් දරුවන් ක්‍රීඩා කරන විට ටෙඩී සිටියේ හුදකලාව බලා ගත් වන බලාගෙනය..ගුරුතුමියගේ සිතේ මුලින් ඔහු පිලිබද මද නොරිස්සුමක් පමනක් තිබුන නමුත් කල් යාමේදී එය වර්ධනය වූ අතර අවසානයේ ටෙඩී පිලිබද සියුම් වෛරයක් දක්වා එය වැඩි දියුණු විය.

 ඔහුගේ විභාග ප්‍රශ්ණ පත්‍ර පරීක්‍ෂා කිරීම ඇය මහත් උනන් දුවෙන් සිදු කල අතර රතු පෑනකින් ඔහුගේ වැරදි උත්තර විශාල කතිරයකින් කපා ප්‍රශ්ණ පත්‍රයට ඉහලින් විශාල" "F" අකුරක් දැමීමෙන් ඇයට සියුම් සතුටක් දැනුනි. පන්තියේ සෑම සිසුවෙකුගේම අතීත වාර්තා පරීක්‍ෂා කිරීම පාසලේ නීතියක් වූවත් ගුරුතුමිය සිතා මතාම ටෙඩීගේ වාර්තාව වාර්තා ගොන්නේ පහලටම දැම්මේ ඔහු සමග පැවති වෛරය නිසාමයි. නමුත් අවසානයේ ඇය ටෙඩීගේ වාර්තා පරීක්‍ෂා කල විට ඇය විශ්මයට පත් විය. 

 ටෙඩීගේ පලමු වසරේ ගුරුවරිය ඔහු පිලිබදව තබා තිබුනේ මේ ආකාරයේ සටහනක් "නිතරම සිනාමුසුව ඉන්න ටෙඩී අති දක්‍ෂ සිසුවෙක්. තමන්ට පැවරෙන වැඩ කොටස හොදින් පිරිසිදුව නිම කරන ඔහු ඉතාම යහපත් ගතිගුණ සහිත ළමයෙක්,ඔහු වැනි සිසුවෙක් පන්තියේ සිටීම සතුටට කරුණක්" දෙවන වසරේ ගුරුතුමියගේ සටහන මේ ආකාරයි "ටෙඩී විශිෂ්ඨ සිසුවෙකි.පන්තියේ අනෙක් ළමුන් අතර ඔහු කැපී පෙනෙයි,අනෙක් සිසුන් ටෙඩීට බෙහෙවින් ප්‍රිය නමුත් වසරේ අවසාන භාගයේදී මවගේ රෝගී තත්වය නිසා ඔහු බෙහෙවින් කම්පාවට පත් වී ඇති බව පෙනී යයි" තෙවන වසරේ ගුරුතුමියගේ සටහන මෙසේයි "ඔහුගේ මවගේ මරණය ඔහුට විශාල බලපෑමක් එල්ල කර ඇති අතර සාමාන්‍ය තත්වයට පැමිනීමට ඔහු විශල ලෙස උත්සාහ කලත් ඔහුගේ පියාගෙන් ඊට සහායක් නොමති බව පෙනී යයි. මෙම තත්වයට ඉක්මන් පිලියමක් නොයෙදුවහොත් ඔහුගේ අධ්‍යාපනය කඩාකප්පල් විය හැකි බව මගේ හැගීමයි. හතර වසරේ ගුරුතුමියගේ සටහන මේ ආකාරයි "පාසල් කටයුතු පිලිබදව ඔහුගේ උනන්දුව අවම අතර බොහෝ විට පන්ති කාමරයේදී නිදා ගනී.බොහෝ විට හුදකලාව සිටින අතර යහලුවන් නොමැත" ටෙඩීගේ අතීත වාර්තා කියැවූ ගුරුතුමියට ඔහුගේ තත්වය වැටහුනු අතර ඇයට ඇය පිලිබදව දැනුනේ විශාල ලැජ්ජාවකි.ඒ මුල් පාසල් වාරයේ අවසන් දිනය අතර ඔහුගේ අතීත වාර්තා කියැවීමට මෙතරම් පමා වීම පිලිබදව ඇය පසු තැවුනි. පාසලේ සම්ප්‍රදායට අනූව මුල් පාසල් වාරයේ අවසන් දිණයේ සෑම සිසුවෙකුම පන්ති භාර ගුරුතුමියට කුඩා ත්‍යාගයක් පරිත්‍යාග කල යුතු අතර ටෙඩී ඇයට පර්ත්‍යාග කල ත්‍යාගය දුටු ඇගේ සිතේ ඔහු පිලිබදව හට ගත් ශෝකය තවත් වැඩි විය..අනෙක් සෑම සිසුවෙක්ම ඉතා ලක්‍ෂණ දවටන කොල වලින් ත්‍යාග ඔතා විසිතුරු ලෙස ඒවා සකසා තිබූ නමුත් ටෙඩීගේ ත්‍යාගය අවලක්‍ෂණ ලෙස ඔතා තිබුනේ රළු බ්‍රවුන් පේපර් කවරයකිනි. අනෙක් සිසුන් ඉදිරියේ ඇය ටෙඩීගේ පාර්සලය විවෘත කල අතර එහි වූ පරණ තාලයේ ඇට මාලය සහ අඩක් හිස් වූ සුවද විලවුන් බෝතලය දුටු සමහර සිසුන් සිනා සුනේ ටෙඩීට සරදම් කිරීමටයි.ගුරුතුමිය සිසුන් ගේ සිනහව වැලැක්වූයේ ඇට මාලය ඉතා ලස්සන බව පවසා එය පැලදීමෙනි.සුවද විලවුන් ස්වල්පයක් ගල්වා ගැනීමටත් ඇය අමතක කලේ නැත. එය ඇය ජීවිතයේ ලද හොදම ත්‍යාගය බව ඇය පන්තිය ඉදිරියේ පැවසීය. පාසල අවසානයේ අනෙක් සිසුන් පිට වූ පසු ගුරුතුමිය ලගට පැමිනි ටෙඩී සිහින් ස්වරයෙන් මෙසේ පැවසීය.

 "අද මිස් ලග අපේ අම්මාගේ සුවද එන්නේ..." ඔහු පරිත්‍යාග කර තිබුනේ ඔහුගේ මව පාවිච්චි කරමින් සිටි සුවද විලවුන් කුප්පියක් බව ඇයට වැටහුනේ ඒ මොහොතේයි. එදින පටන් ගුරුතුමිය ටෙඩීට විශේෂ අවධානයක් යොමු කල අතර මදින් මද ඔහුගේ සුපුරුදු දක්‍ෂතා මතු වන ආකාරයක් පෙනුනි.ඇය ඔහුව වඩ වඩා ධෛර්යමත් කරන විට ඔහුගේ හැකියාවන් වඩ වඩා ඔප මට්ටම් වූ අතර වසර අවසානය වන විට පන්තියේ සිටි දක්‍ෂතම සිසුන් ගෙන් අයෙක් වීමට ටෙඩී සමත් වුනා. වසර අවසානයේ ඔවුන් වෙන් වූ නමුත් තවත් වසරක් අවසානයේ ඇයට ටෙඩීගෙන් ලැබුනු ලිපියක සටහන්ව තිබුනේ ඔහුගේ ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුතුමිය ඇය බවයි. 

තවත් වසර කීපයකින් ඔහු එවා තිබූ තවත් ලිපියකින් ඔහු පවසා තිබුනේ පාසල් අධ්‍යාපනය අවසන් බවයි.ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුතුමිය ඇය බව සටහන් කිරීමටත් ඔහු අමතක කර තිබුනේ නෑ. කාලය වේගයෙන් ගෙවී ගිය අතර තවත් වසර කීපයකින් ඇයට ඔහුගෙන් තවත් ලිපියක් ලැබුනා,ඔහු දැන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන බව එහි සටහන් කර තිබූ අතර සුපුරුදු ලෙස තවමත් ජීවිතයේ ඔහුට හමු වූ හොදම ගුරුවරිය ඇය බව සදහන් කිරීමටත් ඔහු අමතක කර තිබුනේ නෑ.

 තවත් වසර කීපයකින් ඔහුගෙන් තවත් ලිපියක් ලැබුනා.මේ වන විට ඔහු විද්‍යාවේදී උපාධිය අවසන් කර තිබූ අතර තව දුරටත් අධ්‍යාපනය සිදු කරන බව ඔහු දන්වා තිබුනා. "මගේ ජීවිතේ මට හමුවුන හොදම ගුරුතුමිය ඔබයි" කියා සටහන් කරන්නටත් ඔහු අමතක කලේ නෑ. තවත් වසර ගණනාවකින් ලැබුනු ලිපියකින් ඔහු දන්වා තිබුනේ ඔහුට හමු වූ ජීවන සහකාරිය පිලිබදවයි, "මම ඊළග මාසේ ඇයව විවාහ කර ගන්නවා. මගේ තාත්තා ගිය අවුරුද්දේ මිය ගියා. ඔහු මිය යන්න කලින් මගෙන් ඉල්ලා සිටියා විවාහ දිනයේ මගේ දෙමව්පියන් වෙනුවට ඔබව සහභාගි කර ගන්නා ලෙස. මිස් එනවා නේද? මට ජීවිතේ හමු වුන හොද්ම ගුරුතුමිය ඔබයි" 

 මේ වන විට ඔහු ආචාර්ය ටෙඩී. ගුරුතුමිය විවාහයට සහභාගි වූ අතර පස් වන වසරේදී ටෙඩී ඇයට තෑගි කල ඉතා පරණ ඇට මාලය පැලදීමටත් ඒ සුවද විලවුන් ගැල්වීමටත් ඇය අමතක කලේ නෑ.ඔහුට වැටහුනේ තම මව පැමින සිටින බවක්,ඇයව වැලද ගත් ඔහු ඇගේ කනට කර මෙසේ මිමිනුවා, "පස් වෙනි පන්තියේදී මගේ ජීවිතය වෙනස් කලාට ඔබට ගොඩක් ස්තූතියි මිස්...එදා මම අම්මගේ පරණ ඇට මාලෙයි පාවිච්චි කරපු සුවද විලවුන් බෝතලෙයි තෑගි දීපු වෙලාවේ ඒවා පන්තිය ඉස්සරහ අගය කරලා මම වැදගත් පුද්ගලයෙක් බව මට වටහල දුන්නට ඔබට ස්තූතියි, එදා තමා මගේ ජීවිතයේ වැදගත්ම දවස... ඔබයි මගේ ජීවිතේ මට හමුවුන හොදම ගුරුතුමිය

Saturday, March 17, 2012

◄ කවදා ගෙවා නිම කරම්ද? ►

රාත්‍රී කෑම පිළියෙල කරමින් සිටි තම මව වෙත පැමිණි පුංචි පුතු, ඔහු සවස් වරුව පුරා ලියූ පොත් පිටුවක් රැගෙන විත් එය කියවා බලන්නැයි මවට ඇවිටිලි කරන්නට වුනා. තම අත් පිසදා ගත් ඇය එය රැගෙන කියවන්නට වුනා.

1.තණකොල කැපීමට - Rs.100
2.සතිය පුරාවටම මගේ කාමරය පිරිසිදු කිරීමට - රු.200
3.කියූ වේලාවල් වලට කඩේට යෑමට - රු.250
4.ගෙදර කිසිවකු නොමැති වේලාවලදී නංඟිව බලා ගැනීමට - රු.300
5.මෙවර වාර විභාගයට හොඳ ලකුණු ගැනීමට - රු.250
6.වත්ත සුද්ද කිරීමට - රු.500
ගෙවීමට ඇති මුළු වටිණාකම = රු.1600

තම පුංචි පුතු දෙස මොහොතක් සිනා මුහුණින් බලා සිටි ඇය එම පොත් පිටුවෙහි අනිත් පස පෙරළා, ලියන්නට වුනා. මිනිත්තු කිහිපයකින් එය ලියා අවසන් කර තම පුංචි පුතු අත එය තබා කියවා බලන්නැයි ඇය පැවසුවා. එහි මෙසේ සටහන්ව තිබුණා.

1.මාස 9ක් පුරා ඔයා මගේ ඇඟ ඇතුලේ වැඩෙද්දී ඔයාව දරාගෙන සිටීම - නොමිළේ
2.වසර 2ක් පුරාවටම ලේ කිරි කරලා පොවලා ඔයාව ජීවත් කරවීම - නොමිළේ
3.ඔයා ලෙඩ වෙලා සිටි හැම රැයකම නිදි මරමින් ඔයාව බලාගැනීම, ඔයාට වෙලාවට බෙහෙත් ටික පෙවීම - නොමිළේ
4.ඔයාගේ කැතකුණු අතගා, ඔයාව පිරිසිදු කිරීම - නොමිළේ
5.ඔයා ලෙඩ වුනාම, තුවාල කරගත්තම මම අඬපු හැම කඳුලු බිංදුවක්ම - නොමිළේ
6.ඔයාට හොඳම සෙල්ලම් බඩු අරන් දීලා, ඔයාට ලස්සනම ඇඳුම් අරන් දීලා ඔයාව කුමාරයෙක් වගේ තියාගැනීම - නොමිළේ

ඉතිං මගේ රත්තරං පුතේ මේ ඔක්කෝම එකතු කරාම ඔයාට ගෙවීමට ඇති මුළු වටිණාකම සම්පූර්ණයෙන්ම නොමිළේ...

පුංචි පුතාගේ පොත් පිටුව එයාගේ ඇස් වලින් වැටුණු කඳුලු බිංදු වලින් බොඳ වෙලා යද්දී පුතා එයාගේ ගෙවීමට ඇති මුළු වටිණාකම කියන තැන මෙහෙම ලියුවා.

''සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන ලදී''

''All that I am, or hope to be, I owe to my angel MOTHER

ඉක්මන් විනිශ්චය

දිනක් වෛද්‍යවරයෙක් වේගයෙන් රෝහල වෙත තම රථය නවතා දිව ආවේ ඔහුට රෝහලෙන් හදිසි ශල්‍යකර්මයක් සිදු කිරීමට ඔහු අත්‍යාවශ්‍ය බව දැනුම් දුන් බැවිනි. වහාම ශල්‍යාගාරය සඳහා අඳින ඇදුම් වලින් සැකසුනු ඔහු ශල්‍යාගාරය වෙත දිව එද්දී සැත්කමට මුහුණ දීමට සිටි දරුවාගේ පියා ඔහුට කොරිඩෝවේදී හමුවෙනවා.

''පුදුම මිනිස්සු නේද, කිසිම වගකීමක් නෑ. හදිසි වෙලාවකදි ඉක්මනට එන්න ඔබතුමාල සේවයට බැඳිලා ඉන්නවා නේද? දන්නවද, මගේ පුතා ශල්‍යාගාරය ඇතුලේ ජීවිතයයි මරණයයි අතර සටනක.''

''මට සමාවෙන්න, මම රෝහලෙන් බැහැරව සිටි නිසයි පැමිණීමට ප්‍රමාද වුනේ. ඔය මහත්මයා දැන් ඉවසීමෙන් මට අවසර දෙනවද ශල්‍යාගාරයට යන්න.''

''ඉවසන්න, ඉවසන්න... ඔබතුමා නම් කියාවි. මගේ පුතයි අරක ඇතුලේ මැරෙන්න යන්නේ, ඔබතුමාගේ පුතා නෙවෙයිනේ.''

''මහත්මයගෙ තරහ මට තේරුම්ගන්න පුළුවන්. ඒත් ඔහොම කෝප අරගෙන වැඩ කරන්න බෑ නේද? දැන් තවත් ප්‍රමාද නොකර කරුණාකරල මට යන්න ඉඩ දෙනවද? මම පොරොන්ඳු වෙනවා මට හැකි උපරිමය කරලා ඔබේ පුතාව බේරල දෙන්න. ''

''අවවාද දෙන්න නම් ලේසියි, මොකද තමුන් නෙවෙයිනේ මෙතන දුක් වෙන්නේ. දරු දුකක් තේරෙනවා නම් ඔහොම වැඩ කරන්නේ නෑ ඔබ තුමන්ලා''

කෙසෝ හෝ ඔහුගෙන් මිදී පැය 2ක පමණ සාර්ථක ශල්‍යකර්මයකින් පසුව නැවත වේගයෙන් ශල්‍යාගාරයෙන් ඉවතට පැමිණෙන වෛද්‍යවරයා '' ඔබේ පුතා වාසනාවන්තයි, අපේ සැත්කම සාර්ථකයි'' යනුවෙන් පවසමින් වේගයෙන් එතැනින් පිටව යන්නට වුනා.

තමුන් ස්තූතියි පවසන තුරු හෝ නොසිට මෙසේ වේගයෙන් පිටව යන වෛද්‍යවරයා ගැන ඔහු හෙදියකගෙන් විමසනවා.

''මට මගේ දරුවා ගැන තව ටිකක් දැන ගන්නකම් වත් ඉන්න බැරි තරම් අර දොස්තරයට වැඩ රාජකාරිද. මහ නපුරු උද්දච්ච මිනිස්සු. කොහෙද ඇත්තටම අර මනුස්සයා අර දුවන්නේ?''

''හ්ම්ම්... ඔයාගේ පුතාගේ පණ බේරලා දීලා එතුමා ඒ දුවන්නේ තමන් ගේ දරුවගේ අවසන් කටයුතු කරන ස්ථානයට. මීට දින 2ට කලින් වුනු හදිසි අනතුරකින් ඔහුගේ එකම දරුවා මියගියා''

යාලුවනේ... කිසිම කෙනෙක්ව ඉක්මනින් විනිශ්චයට ලක් කරන්න එපා. මොකද අපි ඇත්තටම දන්නේ නෑ ඒ කෙනා තමන් ගේ ජීවිතය ඇතුලේ මොන වගේ ප්‍රශ්නෙකට මැදිවෙලා ඉන්නවාද කියලා.