මනුෂ්‍යත්වය සොයා යමි

Friday, February 1, 2013

පිස්සු බැල්ල

මොකක් ද බං ඔය කරන පිස්සු වැඩේ , මම නම් කියන්නේ මේ බැල්ලිව මරමු කියලා. මේකා දැන් ගමේ කී දෙනෙක්ව හපා කෑවද මං අහන්නේ. අනේ අම්මප මට එන තරහ. ගනින් යකෝ ඔය පොල්ල මෙහාට “

“ යකෝ .... උඹ පිස්ස නටන්නෙපා. හොසපිටල් එකෙන් කිවුවේ බැල්ලිව හොඳට බලා ගන්න කියලා.  ඌ මළොත් අපිත් ඉවරයි“


“ ඒ මොකෝ බං “

“ යකෝ මූට පිස්සු නම් මු තව දවස් දෙක තුනකින් සෙම හලාගෙන මැරෙනවා “

“ නැහ් . . ! ! ! “

“ නැහ් නෙමෙයි බං . “

“ වැරදිලාවත් වෙන දේකින් මළොත් “

“ ඒකටනෙ හත් ඉලව්වේ කන්න බොන්න දීලා බලා ගන්න කියන්නේ “

 මිනිසා විසින් බල්ලාට සෑහෙන දුරකින් තබන ලද බත් පිඟාන , බල්ලා වෙත මදක් ළං කරන ලද්දේ දිගු රිටක් ආධාරයෙනි.

“ බලාන යකෝ. . . . . . . කෙළෙහි ගුණයක් නැති බැල්ලියො “


කූඩුවේ අයින කොණටම වන්නට වකුටු වී නිදා සිටි කැහැටු බැල්ල මදක් හිස ඔසවා බැලු අතර මිනිසුන් දෙදෙනා තරමක් ඈතට වන්නට විය.ඔවුන් දෙස බලා සිටි බැල්ල , කෑම පිඟාන වෙත හෙලූ හිස් බැල්ම ද සමඟින් දිගු කර ගත් හොම්බ ඉදිරි ගාත් මත ගාල් කර කල්පනාවට වැටුණි.
--------------------------------------------
 
හරියටම මීට මාස කිහිපයකට පෙර ,

වස්සානයේ ආරම්භක දිනයේ දී මේ බැල්ල විසින් අතිශය ඝෝෂාකාරී නගරයේ කඩපිලක් මත පුළුන් ගුලි වන් බලු පැටවන් තිදෙනෙකු ප්‍රසූත කළා ය. කෙසඟ සිහින් සිරුරැති බැල්ල , දඩාවතේ ගොස් ආවේ මොන බල්ලාගේදැයි නොදන්නා පැටවුන් තුනක් කුස දරාගෙන බැව් පැවසූ කඩහිමි , පංසලේ ප්‍රධාන දායක උපාසක මුදලාලි මහතා මහ වරුෂාවේ නොතෙමී තිබූ එකම මුල්ලේ ලැග සිටි බැල්ලට සහ ඇගේ පැටවුන් සීතල වතුරින් නැහැවීමට තරම් කාරුණික විය.


උණුසුම පුළුන් පොදි තුන කටින් ඩැහැගත් බැල්ල , තමාට මතකති කාලයේ සිට හැදී වැඩුනු පාසල වෙතට දිව ගිය ද......හතර වටින් තාප්ප බැද අසුරා තිබූ පාසලේ , ප්‍රධාන ගේට්ටුවේ යට වූ හිඩැස යටින් අපහසුවෙන් මුත් ඇතුලු වීමට උත්සාහ කළේ , තමා කුඩා අවදියේ දී ආදරයම ලැබුනු පාසල් බිම තම පැටවන්ට ද ඇති හොඳම තැන නිසාවෙනි.


“ චිප්: බැල්ලි . . . . .  පර බැල්ලි, මළ වසංගත , ආයෙත් එනව මෙතන සනුහරේ බෝ කරන්න, බොහොම අමාරුවෙන් වඳ කර ගත්තම, ආයෙත් ළඟින්න එනවා “

මුරකරු විසින් නියම ඉලක්කයට විසි කර ගල වැදී නැඟුනු වේදනාව යටපත් කර ගත් බැල්ල , තම කටින් ගත් උණුසුම් පැටවන් ද සමඟින් සිරි පොද වැස්සේ ඉඹාගාතේ යන්නට වූවා ය.

“ දොයි . . දොයි .. . . දොයි . . .
දොයිය . . . .බබා . . . .
බයි බයි බයි. . . .

හඪ ඇසුනු දෙස විමසිලිමත් වු බැල්ල , කටේ දරාන සිටි පැටවුන් තිදෙනා මදක් පසෙකින් තැබුවාය. තීරණයකට එළෙඹි ඇය. නැවතත් කටට ගත් පැටවුන් තිදෙනා සමඟින් හඩ ආ දෙසට ඇදෙන්නට වූවා ය.

අලුත උපන් බිළිඳියක සිටි ඒ කුඩා පිරිසිදු නිවසේ දර ගෙය දෙසට වන්නට ඇති කුඩා නමුත් උණුසුම් බිම් පොඩ්ඩ බැල්ලියට මාළිඟයක් මෙන් විය.


මෙසේ ටික දිනක් ගෙවී ගිය අතර ,නිවසට හදිසියේ ම ආ අමුත්තිය සහ පැටවුන් පලමුවෙන්ම දකින ලද්දේ පෙර පාසල් යන වයසේ පසුවූ සිඟිති දියණියයි.


ඇය තම පුංචි කුසට වැඩි තරම් ලැබෙන කෑම පංගුවෙන් වැඩි කොටස බැල්ලියට දුන්නේ සිය මවට සහ පියාටත් ගෙදර අනිකුත් අයටත් හොර රහසේ වුවත් , තම වැඩිමල් දියණිය වෙනදාට වඩා කෑම ගන්නා රහස සොයා යෑමේ දී දරමඩුවේ වසන බැල්ලියත් පැටවුනුත් තව දුරටත් රහසක් නොවීය.


දර මඩුව වැඩිමනක් භාවිත නොවීමත් , අලුත උපන් බිළිඳා නිසා මුළුතැන් ගෙයි වැඩ කටයුතු වැඩිහරියකට ගෑස් භාවිතා වීමත් රහස එළිවීමට වැඩිකල් ගතවූ හේතු විය.
ගෙදර ගෘහණියගේ දැඩි අප්‍රසාදයට ලක් වූ බැල්ලිය සහ පැටවුන් එතැනින් ඉවත් කිරීමට නොහැකි වූයේ පෙර පාසල් යන සිඟිත්තියගේ මාරාන්තික උපවාසයයි.


බැල්ලිය සිඟිත්තියට ණය ගැති වූවා ය.


සිඟිත්තිය දකින සෑම විටකම තම කන් පහත් කරමින් නඟුට වනමින් පෑ යටහත් ගතිය , සිඟිත්තිය සැලකූවේ සුරතල් ක්‍රියාවක් ලෙසිනි.


දිනෙන් දින වැඩෙන සිඟිත්තිය මෙන්ම සුරතලෙන් වැඩුණු කුඩා බලු පැටවුන් ද සිඟිත්තියගේ ලෝකයට ප්‍රිය දසුනක්ම විය. සිඟිත්තිය විසින් තබන ලද සුරතල් නම් තුනක හිමිකරුවන් වීමට ද ඔවුනට හැකි විය.


නමුත් දිනක් . . . . . .


“ මේ බලන්න. මම ඔයාට කොච්චර කීව ද? ඇහුවෙ නැහැ. වෙලාවට කණ ඇතුලට නොගියෙ. කණට ගියානම් හෙම මොන දෙයියන්නට කියන්න ද? ඔහෙ අදම මේ බලු පැටවු ටික අල්ල ගිහින් අර ඟගට හරි විසි කරන්න. නැතිනම් මම යනවා පොඩි වුන් දෙන්නත් අරන් මහ ගෙදර. ඔන්න මම නොකීවයි කියනනෙපා. . . “


කතාව අසා සිටි බැල්ලිය , සිය පැටවුන් ලගට ගෙන මැක්කන් එකෙක් නෑර පිරිසිදු කළාය. නිවස ආසන්නයට නොයන ලෙස පැටවුන්ට අවවාද කළාය.


සිඟිත්තියගේ පියා මුහුණ දුන් බරපතල අර්බුදය තරමක් හෝ විසදා ලන්නට පැමිණියේ සිරිසෝමයි.

 දිනක් දර මඩුව දෙසට පැමිණි සිරිසෝම දැක බැල්ලිය බිහිසුනු ලෙස බුරන්නට වූවත්, තරමක් වෙලා බලු පැටවුන් එහා මෙහා පෙරළමින් දැඩි පරීක්ෂාවකට ලක්කර අවසානයේ ....


“ මු විතරයි බල්ලෙකුට ඉන්නේ. අනිත් දෙන්නම බැලිකික්කියෝ. . . මම මේකාව විතරක් ගෙනියන්නම් රාලහාමි “ යි පැවසු සිරිසෝම. බැල්ලියගේ ලතෝනිය මැද්දේ දුඹුරු සහ කළු පැහැ මිශ්‍ර තිදෙනාගෙන් හොඳින්ම වැඩුනු බලු පැටවා රැගෙන යන්නට විය.


සිඟිත්තියගේ පියාට එරෙහිව ඊළඟට පැමිණියේ දියණියගේ දෙවෙනි දරුවා බලා කියා ගැනීමට පැමිණි නැන්දම්මායි.


ඇය සැදැහැවත් උපාසිකාවක් වූ වාය.


“ පුතේ  . . .  මම මේ කියන්නමයි උන්නේ. අර බලු රොත්ත වත්ත පුරා ජරා කරනවා. අනික දැන් උන් ලොකු උනාම මේ පොඩි දරුවනුත් අල්ලන්නෙ ජරාව. බැරිද ඕකුන් ටික කොහාට හරි ගිහින් දාන්න “


විරෝධතා උග්‍රවත්ම . . . . .දිනක් ගෘහමූලිකයා පෙහොර උරයක් ද රැගෙන දර මඩුව වෙත ඇදෙනු දක්නට හැකි විය.බැල්ලියගේ විලාපයත් සමඟින් ඔහු පාපැදියක නැගී පලායනවාත් , ටික වේලාවකින් පාලම මත සිට යමක් “ජබොස් “ හඩ නඟිමින් ඟගට වැටෙනවාත් ඇසුණි.

0 අදහස් Comments::

Post a Comment

නෙතු පියන් යට ඉදන්.. හදවතට ඉඩ දෙන්න...
මම මේ කතාව ගැන මුකුත්ම අදහසක් කියන්නෙ නෑ. ඔයාම කල්පනා කරල බලන්න...
-