මනුෂ්‍යත්වය සොයා යමි

Monday, April 2, 2012

අවංක ආදරය ප්‍රකාශ කරන්න බිය වන්න එපා

තකොට මම සාමාන්‍ය පෙල. ඒ කාලෙ අපේ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි මූන දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න ඕනෙ කියලා.ඒත් එයාට ඒ බව තේරුණේ නෑ.
දවසක් පංතිය ඉවර උනාම එයා මං ලගට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. "මම ඔයාට ආදරෙයි" කියලා කියන්න කොච්චර හිතුනත් හිතේ තිබුන ලැජ්ජාව නිසා මට ඒ බව එයාට කියන්න බැරි උනා.මම දන්නේ නෑ ඒ ඇයි කියලා. 

ඒ වෙනකොට මම උසස් පෙල.දවසක් මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය ඉකිබිදිමින් පැවසුවා ඇගේ ආදරය බිදුනු බව. ඇයට ඒ දුක තනියම දරා ගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. ඇය හමුවුනාම ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඔයාට ආදරෙයි" කියලා කියන්න බැරි උනේ මගේ ලැජ්ජාව නිසා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. 

කාලය ගත වුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ පලමු වසර.ඒ වෙනකොට ඇයට පෙම්වතෙක් හිටියා. දිනක් ඔවුන් දෙදෙනා හමුවීමට සිටියත් අසනීපයක් නිසා ඔහු පැමිනියේ නෑ. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "ඔයා දන්නවද, මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් මට මගේ හිතේ ඇය වෙනුවෙන් තිබුනු ආදරය ප්‍රකාශ කරන්න බැරි උනා. 

වසරින් වසර ගෙවී ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනය උදා වුනා. ඒ වන විට ඇය රූමත් තරුණියක්.උපාධිය ලබා ගැනීමට වේදිකාවට ගොඩ වූ ඇය දුටු මට හිතුනා අනේ ඇය මගේම උනා නම් කියලා.ඒත් ඇය එය නොදන්නා බව මම දැන සිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. වෙන් වී යන විට ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕනි උනා "ඔයා මට හොදම යාලුවෙකුටත් වඩා වැඩි කෙනෙක්" කියලා.නමුත් ඒ බව කියන්න මෙවරත් මට ආත්ම ශක්තියක් තිබුනේ නෑ.මම දන්නේ නෑ ඒ ඇයි කියලා. 

මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අද ඇගේ ජීවිතය අලුතෙන් පටන් ගන්නවා තවත් පුද්ගලයෙක් සමග.ඇයව මගේ කරගන්න මට ඕනි උනත් මට ඒක කර ගන්න බැරි උනා. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මම ඔයාට ආදරෙයි කියන්න හිතුනත් මෙවර ඒ සදහා මට ඉඩක් නෑ.
කාලය වේගයෙන් ගෙවී ගියා. දැන් මම ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත, මම රහසින් පෙම් කල, ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා. 

"මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ බව තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්...." 

ඔබ කිසිවෙකුට අවංකව ආදරය කරනවා නම් ලැජ්ජාව බිය පසෙකලා පමා නොවී ඒ බව ඇයට/ඔහුට පවසන්න. ඔබේ පමාව නිසා ඒ අය ඔබට අහිමි උනොත් ජීවිත කාලය පුරාම ඒ පිලිබදව ඔබට පසුතැවීමට සිදු වේවි.

Tie a Yellow Ribbon Round the Old Oak Tree-කොන්දේසි විරහිත ආදරය

1971 දී ඇමරිකාවේ නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත(The NewYork Post ) ඇමරිකාවේ ජොර්ජියා ප්‍රාන්තයේ කුඩා නගරයක් වූ වයිට් ඕක්(White Oak) හි විසූ මිනිසෙකු පිලිබද සත්‍ය කතාවක් පල කලා.මොහු ලස්සන හොද ගැහැනියක් සමග විවාහ වී සිටි නමුත් කෙදිනකවත් ඇයව අගය කලේ නෑ.ඔහු හොද සැමියෙක් හෝ හොද පියෙකු නොවූ අතර බොහෝ දිනවල රාත්‍රියේ බීමතින් පැමින දරුවන්ටත් බිරිදටත් පහර දීමට පුරුදු වී සිටියා.
දිනක් මොහු තීරණය කලා නිව්යෝර්ක් නගරයට සංක්‍රමනය වී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, නමුත් ඔහු සතුව ප්‍රමානවත් මුදලක් තිබුනේ නෑ. අවශ්‍ය මුදල් ප්‍රමානය බිරිදගේ ඉතිරිකිරීම් වලින් සොරකම් කල මොහු බසයක නැගී නිව්යෝර්ක් බලා පිටත් වුනා.
නිව්යෝර්ක්හිදී මිතුරන් සමග එක් වී ඔහු ව්‍යාපාරයක් ආරම්භ කල අතර ඔහුගේ නව ජීවිතයේ ප්‍රධානත්වය ලබා දුන්නේ මත්පැන්, ගණිකාවන් සහ සූදුවටයි. ටික දිනක් යනතුරු ඔහු බොහෝ විනෝදයෙන් කල් ගෙව්වත් ඉතා ඉක්මනින් ඔහුගේ ව්‍යාපාරය බංකොලොත් වුනා.ජීවත් වීම සදහා නොයෙකුත් අකටයුතුකම් වලින් මුදල් සෙවීමට ඔහු පුරුදු වුනේ ඉන් පසුවයි. මොහු මුදල් ඉපයූ ප්‍රධාන මාර්ගයක් වූවේ හොර චෙක්පත් වලින් මුදල් වංචා කිරීම වූ අතර වැඩිකල් නොගොස් ඔහු පොලීසියට හසු වුනා.මොහුව උසාවියට ඉදිරිපත් කල පසු හිමි වුනේ වසර තුනක සිර දඩුවමක්. 

සිරගතවී සිටි අවසන් කාලයේ මොහුට නිවස සිහිපත් වූ අතර බිරිද සහ දරුවන් තමන් ලග නොමැතිකමේ හිදැස තදින්ම දැනුනා.අවසානයේ බොහෝ ආයාසයෙන් ධෛර්ය උපදවා ගත් ඔහු තමා කල දේවල් වලට සමාව ඉල්ලා තමන් ඔවුන්ට කොපමන ආදරේදැයි යන්නත් පවසා බිරිදට ලිපියක් ලිවීමට තීරණය කලා. බිරිද යලිත් තමාව පිලිගන්නා ලෙස ඔහු සිතින් ප්‍රාර්ථනා කලා.නමුත් ඔහුට වැටහුනා මේ වන විට තමා ප්‍රමාද වැඩි විය හැකි බව.ඉතින් ඔහු ඔහුගේ ලිපිය මෙසේ අවසන් කලා. 

"ඔයා මා වෙනුවෙන් බලා සිටිය යුතු නෑ.ඒත් ඔයා තවමත් මට ආදරේ කරනවා නම්, මම කල වරදවලට සමාව දෙන්න පුලුවනි නම් මට සලකුනක් තියන්න.ඔබට තවමත් මා අවශ්‍ය යැයි සිතනවා නම් මම නිදහස් වෙන දින නගරය මැද තියන විශාල නුග ගහේ කහ පාට රෙදි පටියක් බැද තියන්න. මම නගරයට පැමින නුග ගස පසු කර යන විට එහි කහ පාට රෙදි පටියක් නැති වුනොත් මම තේරුම් ගන්නම් ඔබේ ජීවිතයට යලිත් මම අනවශ්‍ය බව. මම බස් රථයෙන් බහින්නේ නැතිව කෙලින්ම මියාමි(Miami) බලා යන්නම්,නැවතත් කිසි දිනක ඔබේ ජීවිතයට නොපැමිනෙන්න මම පොරොන්දු වෙන්නම්" 

අවසානයේදී ඔහු පුල පුලා බලා සිටි ඒ දිනය උදා වුනා.ඔහු බොහෝ සේ කැලබී සිටියේ බිරිදගේ තීරණය කුමක් වේ දැයි සිතා ගැනීමට නොහැකි නිසයි.ඔහුට බිරිදගෙන් පිලිතුරු ලිපියක් නොලැබුන අතර අවම වශයෙන් ඇයට තමා යැවූ ලිපිය ලැබුනු බවටවත් සාක්‍ෂියක් නොමැති නිසා ඔහු බොහෝ දුර්මුඛ වුනා.
ඔහු මියාමි(Miami) බලා යන බසයකට ගොඩ වුනා. ඒ බසය ගමන් කරන්නේ ඔහුගේ මවු නගරය වන වයිට් ඕක්(White Oak) නගරය හරහායි.ඔහුගේ සිතේ තිබුනු කලබල ගතිය නිසා ඔහු ඔහුගේ කථාව බස් රථයේ ඔහු සමග ගමන් කල අනෙක් මගීන් සමග බෙදා ගත්තා.බස් රථයේ සිටි සෑම පුද්ගලයෙකුම ඔහුගේ කථාව දැන ගත් අතර ඔවුන් බස් රථයේ රියදුරාගෙන් ඉල්ලා සිටියේ වයිට් ඕක්(White Oak) නගරයේ නුග ගස අසලින් බසය සෙමින් ධාවනය කරන ලෙසයි. 

වයිට් ඕක්(White Oak) නගරය වෙත බස් රථය ලගා වන විට ඔහුගේ හදවතේ වේගය ගොඩක් වැඩි උනා. නුග ගස අසලින් ගමන් කරන එම අවස්ථාව දරා ගැනීමට අපහසු වූ නිසා මුහුන බිමට නැඹුරු කර ගත් ඔහු දෑස් පියා ගත්තා. නමුත් නුග ගහ ආසන්න වනවාත් සමගම බස් රථයේ මගීන් නැගූ ප්‍රීති ඝෝෂාව නිසා ඔහු හිස ඔසවා දෙනෙත් විවෘත කලා.දෙනෙතේ පිරී තිබුනු කදුලු කැට අතරින් දුටු දෙයින් ඔහු විශ්මයට පත් වුනා.
නුග ගසේ තිබුනේ එක් කහ පැහැති රෙදි පටියක් නොවේ,ගස පුරා කහ පැහැති රෙදි පටි සිය දහස් ගණනක් එල්ලී තිබුනා. 

මෙම කතා පුවත ඉතා ඉක්මනින් රට පුරා පැතිරුනා. Irwin Levine සහ L. Russell Brown යන ගීත රචකයන් දෙදෙනා මේ ඇසුරින් "Tie a Yellow Ribbon Round the Old Oak Tree" නමින් ගීතයක් රචනා කල අතර Dawn featuring Tony Orlando නැමති සංගීත කණ්ඩායම ගායනා කල මෙම ගීතය 1973දී ලොව පුරා ගීත දර්ශක රාශියක පලමු ස්ථානයේ රැදී තිබුනා. 2008 දී Billboard නම් ප්‍රකට සංගීත සගරාව විසින් සකස් කල ලොව මෙතෙක් නිර්මානය වූ විශිෂ්ඨම ගීත 100 අතුරින් 37වන ස්ථානය මෙම ගීතයට හිමි වුනා.
මෙම ගීතයට මෙම එකෙන් සවන් දෙන්න
මේ පිලිබදව වෙනත් මති මතාන්තර පවතින නිසා මෙහි සත්‍යතාවය 100% තහවුරු කල නොහැකි වුනත් මෙම කතාව කොන්දේසි විරහිත ආදරය පිලිබදව හොද නිදසුනක් සපයයි.කාලයත් සමග ආදරයේ නිර්වචනය බොහෝ සේ වෙනස් වී ඇත.වර්තමානය වන විට ආදරය භෞතික වස්තූන්/ලක්‍ෂණ මත පදනම්ව ඇති අතරම ආදරය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශණය කිරීම විලාසිතාවක්ව ඇත(තම පෙම්වතාට පෙම්වතියට ඇති ආදරය ෆේස්බුකියේ ස්ටේට්ස් එකක් ලෙස යෙදීමම මෙයට උදාහරණයක් නොවන්නේද?). සමාජයේ බහුතරයක් ආදරය යනු බොලිවුඩ් සිනමාපටයක ඇති බොලද ප්‍රේම කතාවක් ලෙස සිතා සිටී. මෙම කථාවේ එන ගැහැනිය අතීතයේදී තමාට බොහෝ හිරිහැර කල මිනිසාට සමාව දී ඔහුගේ ආදරය යලිත් පිලිගන්නේ ඇයගේ සිතේ ඔහු පිලිබද වූ කොන්දේසි විරහිත ආදරය නිසා නොවේද?

සමාව ගන්න බිය නොවන්න

හාචාර්යවරයෙක් වැඩිහිටියන් සදහා පවත්වපු පන්තියකදී දවසක් අමුතුම විදියේ පැවරුමක් ලබා දුන්නා. ඒ තමා ඊළග සතිය ඇතුලත තමන් ගොඩක් ආදරය කලත් කවදාවත් ඒ බව කියා ගන්න බැරි උන කෙනෙක් ලගට ගිහින් තමන් ඒ අයට ආදරෙයි කියලා කියන එක. මේ පැවරුම ඉතාමත්ම පහසු එකක් බව අපට පෙනුනත් අපි තේරුම් ගන්න ඕනි මේ පන්තියේ ඉන්නේ වයස අවුරුදු 35ට වඩා වැඩි අය බව.ඒ පරම්පරාවේ අය ගොඩක් දුරට කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිතේ තියන හැගීම් ප්‍රකාශ කිරීමේදී මැළි බවක් දක්වනවා. 

ඉතින් සතියකින් ඊළග පන්තිය පටන් ගත්තා. මහාචාර්යවරයා පන්තියටම ඇහෙන්න කිව්වා කවුරු හරි ගිය සතියේ දුන්න පැවරුම කරනකොට මුහුන දුන් අත්දැකීමක් පන්තිය ඉස්සරහට ඇවිත් විස්තර කරන්න කියලා.මහාචාර්යවරයා බලාපොරොත්තු උනේ කාන්තාවක් ඉස්සරහට ඒවි කියලා,මොකද මේ වගේ දේවල් වලට දක්‍ෂ කාන්තාවොනේ. නමුත් මහාචාර්යවරයා පුදුමයට පත් කරමින් පන්තිය ඉස්සරහට ආවේ වයස අවුරුදු 40ක් පමන වෙන පිරිමියෙක්. 

"මහාචාර්යතුමනි ඔබ ගිය සතියේ ඒ පැවරුම දුන්න වෙලාවේ මම ඔබත් එක්ක තරහින් හිටියේ. මට හිතුනේ නෑ ඒ විදියට ආදරෙයි කියලා කියන්නෙ ඕනි කෙනක් මගේ ජීවිතේ ඉන්නවා කියලා. අනිත් එක එහෙම කෙනෙක් හිටියත් එහෙම කියන්න කියලා මට කියන්න ඔබ කවුද කියලත් මට හිතුනා.ඒත් මම ගෙදර යන අතරතුර මගේ හෘද සාක්‍ෂිය මට කතා කලා. එය මට පැහැදිලිවම කිව්වා මම ආදරෙයි කියලා කියන්න ඕනි කාටද කියලා. 

වසර 5කට විතර කලින් මමත් මගේ පියාත් අතර බහින්බස් වීමක් ඇති වුනා. එදා ඉදලා ආයේ කවදාවත් අපි දෙන්නා සුහද උනේ නෑ. අපි දෙන්නා මුණ ගැහුනේ පවුලේ අය එකතු වෙන සාදයකදී විතරයි,ඒ හමු උනත් අපි වචන දෙක තුනකට වැඩිය කතා කරන්නේ නෑ.ඉතින් එදා රෑ වෙලා ගෙදර යනකොට මම තීරණය කලා මම ආදරෙයි කියලා කියන්න ඕනි මගේ තාත්තට බව. 

මම ගෙදර යනකොට මගේ බිරිද නිදාගෙන හිටියේ. මම ඇයව ඇහරවලා මේ බව කිව්ව ගමන් ඇය පැනලා මාව බදාගෙන මාව සිප ගත්තා. අපේ විවාහ ජීවිතයේ පලවෙනි වතාවට ඇය මගේ කදුලු දැක්කේ එදා.එදා ඈ අපි දෙන්නා ගොඩාක් රෑ වෙනකම් කෝපි බිබී කතා කර කර හිටියා.ඇත්තෙන්ම එය නියමයි.
පහුවදා ගොඩාක් ප්‍රබෝධමත් දවසක් උනා. උදේ පාන්දරම නැගිට්ට මම වෙනදට කලින් කාර්යාලයට ගියා. වෙනදා මුලු දවසෙම කරන වැඩ එදා මම පැය දෙකෙන් අවසන් කලා. 10ට විතර මම තාත්තාට දුරකථන ඇමතුමක් ගත්තා. තාත්තා ඇමතුමට පිලිතුරු දුන්නම මම ඇහුවා 

"තාත්තේ මට අද හවස 5.30ට තාත්තව හමුවෙන්න පුලුවන් ද?තාත්තට කියන්න දෙයක් තියනවා මට"
තාත්තා තරහින් "ඒ පාර මොනවද"කියලා ඇහුවා.
නමුත් මට වැඩි වෙලාවක් අවශ්‍ය නොවන බව ඒත්තු ගන්වන්න පුලුවන් උන නිසා ඔහු කැමති උනා හවසට හමු වෙන්න.
හවස 5.30 වෙනකොට මම තාත්තලගේ නිවසට ගියා. දොරට තට්ටු කරනකොට මට බය හිතුනා අම්මා ඇවිත් දොර අරී කියලා. ටික වෙලාවකින් තට්ටු කරනකොට දොර ඇරුනා,දොර ඇරියේ තාත්තා.මම කාලේ නාස්ති කලේ නෑ.
"මම ආවේ මම තාත්තාට ගොඩක් ආදරේ බව කියන්නයි"තාත්තා දෙසට පියවරක් තබන ගමන් මම කිව්වා.
මේ කතාව අහපු ගමන් තාත්තාගේ මූන ගොඩක් වෙනස් උනා,පෙන්නගෙන හිටිය තරහා මූන අයින් වෙලා ඉස්සර මට පුරුදු මගේ තාත්තගේ මූන මතු උනා.තාත්තාගෙ ඇස් වලට කදුලු ආවා.අඩන ගමන් තාත්තා කිව්වා. 

"පුතාට මමත් ගොඩක් ආදරෙයි පුතේ..ඒත් මට ඒක පුතාට කියා ගන්න පුලුවන් උනේ නෑ"කියලා.
තාත්තයි මමයි ගොඩක් වෙලා බදාගෙන හිටියා.ඒ වෙලාවේ මගේ අම්මත් ඇවිත් අපි දෙන්නව බදා ගත්තා.ඒක වචන වලින් විස්තර කරන්න බැරි මොහොතක්...මට ඒ වගේ සැනසිල්ලක් අවුරුදු ගාණකින් දැනිලා නෑ.... 

ඒත් මගේ කතාව එතනින් ඉවර නෑ. මම ඔහුගේ නිවසට ගිය දවසට දවස් දෙකකට පස්සේ ඔහුට හෘද්‍යාබාධයක් හැදුනා,ඔහු මට කවදාවත් කියලා නෑ ඔහුට හෘද්‍යාබාධයක් තියනවා කියලා. ඔහු තවම රෝහලේ. ඔහුට තවමත් සිහිය නෑ. වෛද්‍යවරුන්ට අනූව ඔහුගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි.
මට ඔයාලා හැමෝටම පණිවිඩයක් දෙන්න තියනවා.කරන්න ඕනි බව දන්න කිසිවක් කරන්න මොහොතක්වත් පමා වෙන්න එපා.හිතන්න මම තාත්තව මුනගැහෙන්න යන්නේ නැතිව හිටියා නම් ආයේ කවදාවත් මට ඔහුට කියන්න බැරි වෙන්න තිබුනා මම ඔහුට කොච්චර ආදරේද කියලා.ඒ නිසා කරන්න අවශ්‍ය දේ කරන්න ඔබේ කාලය මේ දැන්ම මිඩංගු කරන්න." කියමින් ඔහු කතාව අවසන් කලා.
ලොව පවතින සෑම සම්බන්ධයක්ම පවතින්නේ "අසම්පූර්ණ(Imperfect)" මිනිසුන්/ගැහැනුන් දෙදෙනෙකු අතරයි. එම නිසා ඔවුනොවුන් අතින් වැරදි සිදුවීම වැලැක්විය නොහැකියි. මෙවන් අවස්ථාවක සිත් රිදවීම් සිදුවන අතර සම්බන්ධතා දෙදරා යයි. සම්බන්ධතාවක් දෙදරා ගිය පසු බොහෝ විට සිදු වන්නේ සම්බන්ධතාවය යලි ඇරඹීමට අනෙකා පැමින සමාදාන වන තුරු බලා සිටීමයි.ඒ එකිනෙකා තුල ඇති ආත්ම අහංකාරය නිසායි.කාලය ගත වෙයි.මෙලොව පවතින සියලුම දේ අතුරින් අවිනිශ්චිතම දෙය නම් කාලයයි.
ඔබ යමෙකුගෙන් සමාව ගැනීමෙන් අදහස් කරන්නේ ඔබ වැරදි බව හෝ අනෙකා නිවැරදි බව හෝ නොවේ. එයින් අදහස් වන්නේ ඔබ තුල පවතින ආත්ම අහංකාරයට වඩා ඔබ දෙදෙනා අතර පවතින සම්බන්ධය වටිනා බවයි.

අම්මා සමග මොහොතක්

පි විවාහ වෙලා අවුරුදු 21ක් සම්පූර්ණ වෙන දවසේ මගේ බිරිද මගෙන් ඉල්ලා සිටියා රාත්‍රී ආහාර වේලකට යන්න කියලා,ඒත් ඒ එයත් එක්ක නෙවේ,වෙනත් කාන්තාවක් එක්ක. 

"මම ඔයාට ගොඩක් ආදරෙයි...ඒත් මම දන්නවා මේ කාන්තාවත් ඔයාට ගොඩක් ආදරේ බව,සමහර විට මම ඔයාට ආදරේ කරනවට වඩා එයා ඔයාට ආදරේ කරනවා වෙන්නත් පුලුවන්,එයා ගොඩක් කැමති වෙයි ඔයා එක්ක රාත්‍රී ආහාර වේලකට ගිහිල්ලා ඔයා එක්ක ටිකක් කාළය ගත කරන්න""" 

මගේ බිරිද අදහස් කල අනෙක් කාන්තාව තමා මගේ අම්මා. අවුරුදු 19කට කලින් තාත්තා අපිව දාල ගියාට පස්සේ වැන්දඹුවක් විදියට කාලය ගත කල ඇයත් සමග මට ගත කරන්න උනේ බොහොම පොඩි කාලයක්. ඒකට හේතු වුනේ මගේ රැකියාවේ කටයුතුයි වලටයි මගේ දරුවෝ තුන් දෙනාගේ වැඩ කටයුතුයි වලට මගේ කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කරන්න සිදු වීම... 

ඉතින් එදා රෑ මම අම්මට දුරකථන ඇමතුමක් ගත්තා රාත්‍රී ආහාර වේලකට ආරාධනා කරන්න.
"ඇයි පුතා මේ මහ රෑ? මොකක් හරි කරදරයක්ද? ඔක්කොමලා හොදින් ඉන්නවා නේද?"
ඒ අම්මගේ හැටි,අවේලාවේ දුරකථන ඇමතුමක් ගත්තොත් අම්මා කතා කරන්න පටන් ගන්නේ එහෙම අහලා.
"මම කැමතියි අම්මාව මුන ගැහිලා කතා කරන්න...අපි දෙන්නා විතරක්...අපි සිකුරාදට රෑ කෑම ගන්න එලියට යමුද අම්මේ?" 

"මම ඒකට ගොඩක් කැමතියි පුතේ"ටිකක් වෙලා නිශ්ශබ්දව හිටිය අම්මා කිව්වා.
සිකුරාදා වැඩ අවසන් වෙලා මම අම්මව ගන්න අම්මගේ ගෙදරට යන්න පිටත් වුනා. ඒ වෙනකොට මම ටිකක් නොසන්සුන් වෙලා හිටියේ,ඒ තරමටම අම්මයි මමයි දුරස් වෙලා... අම්මගේ ගෙදරට යනකොට අම්මත් ලෑස්ති වෙලා හිටියා,තාත්තත් එක්ක අවසන් වතාවට විවාහ සංවත්සරේ සමරපු දවසේ අම්මා ඇදපු ඇදුම තමා ඇය ඇදගෙන හිටියේ. 

අම්මා මාත් එක්ක හිනා වුනා...ඇගේ ඇස් වල අමුතු දීප්තියක් තිබුනා.
"මම මගේ යාලුවන්ට කිව්වා අද මම පුතා එක්ක රෑ කෑමට යනවා කියලා...එයාලට ගොඩක් සතුටුයි..." අම්මා සතුටින් කිව්වා. 

අපි අවන්හලකට එකකට ගියා.ඒක ගොඩක් විශාල එකක් නොවුනත් නිස්කලංක සුව පහසු එකක්. අසුන් ගත්තට පස්සේ මෙනු එක අතට ගත්ත මම ඒක කියෙව්වේ අපට කෑමට යමක් ඇනවුම් කරන්න... ටික වෙලාවකින් අම්මා දිහා බලනකොට මම දැක්කා අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා,ඇස් වල හීනියට කදුලු පටලයකුත් තිබුනා. 

"පුතා පොඩි කාලේ තාත්තා එක්ක රෑ කෑමට ගියාම මමයි මෙනු එක කියෙව්වේ" මද සිනාවක් සමග අම්මා කිව්වා.
එදා අම්මයි මමයි ගොඩක් දේවල් කතා කලා.මම පොඩි දවස් වල විස්තර,අපේ පවුලේ විස්තර,අපේ අසල්වැසියෝ ගැන විස්තර,අම්මාගේ යාලුවෝ ගැන විස්තර වගේ ගොඩක් දේවල් අපි කතා කලා. අම්මා ගොඩක් හිනා වුනා...එයා ලොකු සතුටකින් ඉන්න බවක් පෙනුනා. අපි එන්න පිටත් වෙනකොට මධ්‍යම රාත්‍රියටත් කිට්ටු වෙලා. 

"පුතා කැමති නම් විතරක් අපි තව දවසක් මෙහෙම රෑ කෑමට යමුද"?" අම්මා හෙමීට ඇහුවා.
"ඔව් අම්මේ අපි තව දවසක් යමු,මමත් ගොඩක් කැමතියි අම්මා එක්ක නිදහසේ කතා කරන්න" මම කිව්වා.
ගෙදර ආවට පස්සේ බිරිද ඇහුවා රාත්‍රී ආහාරය කොහොමද කියලා. "
ගොඩාක් හොදයි...කියන්න වචන නෑ,අම්මටත් ගොඩක් සතුටුයි...තව දවසක් අම්මව එක්කගෙන යන්න ඕනි" මම කිව්වා. "
නමුත් මගේ ඒ ආශාව ඉටු කර ගන්න ලැබුනේ නෑ..මොකද ඒ සතියේම අම්මා හදිසියේ මිය ගිය නිසා. අම්මගේ අවසන් කටයුතු අවසන් වෙලා අපි ගෙදර එන්න පිටත් වෙනකොට අම්මා ගොඩක්ම ලගින් ආශ්‍රය කල ඇගේ මිතුරිය මගේ ලගට ඇවිත් ලියුම් කවරයක් මගේ අතින් තිබ්බා,ගෙදර ආපු මම ඒ ලියුම් කවරේ විවෘත කලා. "

ලියුම් කවරේ ඇතුලේ තිබුනේ එදා අම්මයි මමයි රාත්‍රී ආහාරය සදහා ගිය අවන්හලේ වෙනත් බිල් පතක්. ඒත් එක්කම අමුනා තිබුනු සටහනක මෙහෙම තිබුනා "
පුතේ, "
මම තව රාත්‍රී ආහාර වේලකට ආසන වෙන් කලා.ඒත් මට පුතා එක්ක එන්න ලැබෙයිද දන්නේ නෑ,ඒත් මම ආසන දෙකක් වෙන් කලා එකක් පුතාට අනික පුතාගේ බිරිදට."
එදා මගේ පුතා එක්ක ගත කරපු කාලේ මට කොච්චර වටිනවද කියන්න මට වචන නෑ පුතේ,මගේ පුතාට මම ගොඩක් ආදරෙයි. "
මට ඒ මොහොතේ වැටහුනා අපි ආදරේ කරන අය වෙනුවෙන් කාලය මිඩංගු කිරීමේ වැදගත් කම. ජීවිතේ අපිට තියන වැගත්ම දේ තමා අපේ පවුල.ඒ අය වෙනුවෙන් ඒ අයට අවශ්‍ය මොහොතේ කාලය වැය කරන්න අපට නොහැකි උනොත් ජීවිත කාලයම ඒ වෙනුවෙන් පසු තැවෙන්න අපට සිදු වෙවි. විශේෂයෙන් ඔවුන් ගේ තරුණ සමය අප වෙනුවෙන් කැප කර දැන් ජීවිතයේ සැදෑ සමය තනිවම ගෙවන අපේ මවුපියන් වෙනුවෙන්

█ ♥ █ ♥ █ දික්කසාදය █ ♥ █ ♥ █

ම විවාහ උන දවසේ මම මගේ බිරිදව මගේ අත් දෙකෙන් ඔසවාගෙනයි අපේ නිවසට ආවේ. අපේ මංගල රථය අපේ නිවස ඉදිරියේ නතර කලාට පස්සේ මගේ යහලුවන් ගේ බල කිරීමට නිවස දක්වා ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යන්න සිද්ධ උනා.ඒ දවස් වල ඇය ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් ලැජ්ජයි. 

ඒ වසර 10කට පෙර අතීතේ. අපි දෙන්නාගේ විවාහ ජීවිතේ මුල් අවදිය පිරිසිදු වතුර වීදුරුවක් වගේ බොහෝම ලස්සනවත් නිස්කලංකවත් ගෙවිලා ගියා. අපිට ලස්සන පුතෙක් ලැබුනා,මම රැකියාව අත් හැරලා මගේම ව්‍යාපාරයක් ආරම්භ කලා.ව්‍යාපාරය දියුණු වුනා. මගේ අතේ යහමින් මුදල් ගැවසුනා.මගේ බිරිද සේවය කලේ රජයේ ආයතනයක,අපි දෙන්නා හැමදාම උදේ එකටයි රැකියාවට පිටත් වුනේ. අපේ එකම පුතා අධ්‍යාපනය ලැබුවේ නගරයේ හොද පාසලක නේවාසිකව.පිටත ඉදන් බලන කෙනෙකුට පෙනුනේ අපි දෙන්නා ගොඩක් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා වගේ. ඒත් අපි දෙන්නා අතර බැදීම ටික ටික අඩු වෙන බවක් මට තේරුණා. 

ඈන් මගේ ජීවිතේට ආවේ මේ දවස් වල..
ඒ පැහැබර කාලගුණයක් තිබුන දවසක්. මම හිටියේ සදළුතලයට වෙලා.මේ මම ඈන් වෙනුවෙන් මිලදී ගත් තට්ටු නිවාසය....මගේ පිටුපසින් පැමිනි ඈන් මාව වැලදගත්‍තා.අපි දෙන්නා මුන ගැසුනාම ඇය මට ලබා දෙන මහත් වූ ආදරයට සහ ඇගේ ලස්සන සිරුරට මම මේ වෙනකොට වශී වෙලා හිටියේ. මම මගේ බිරිදට කරන්නේ ලොකු වරදක් බව මට තේරුනත් එය නවත්වන්න මට හැකියාවක් තිබුනේ නෑ.මේ වෙනකොට මගේ බිරිදගෙන් දික්කසාදය ලබා ගන්න බව. මම තීරණය කරලා ඉවරයි.කාලයකට ඉහත මම හිතන්නවත් කැමති වුනේ නැති 'දික්කසාදය' කියන දේ දැන් මට පෙනුනේ මගේ වර්තමාන ජීවිතෙන් මාව ගලවලා ඈන් මගේ ලගට ගේන මගේ ගැලවුම්කාරයෙක් වගේ. 

නමුත් මට ලොකු ප්‍රශ්ණයක් තිබුනා. ඒ වෙන කිසිවක් නෙවේ මේ දේ මගේ බිරිදට දැනුම් දෙන්නේ කොහොමද කියලා.කොච්චර මෘදු විදියට මේ දේ මම බිරිදට කිව්වත් එයා ඒකෙන් ගොඩක් සිත් වේදනාවට පත් වෙන බව මම දැනගෙන හිටියා.අවංකවම කිව්වොත් ඇය පිරිමියෙකුට ලබන්න පුලුවන් ඉතාම හොද බිරිදක්.උදේ පාන්දර මම නිදාගෙන ඉන්නකොට ඇය තනියම උදේ ආහාරය සකසනවා, හැමදාම හවස වැඩ අවසන් කරලා ගෙදර ඇවිත් මම රූපවාහිනිය ඉස්සරහට වෙලා ඉන්නකොට ඇය රාත්‍රී ආහාරය සකසනවා, ඇය කවදාවත් අනවශ්‍ය දේට මුදල් වියදම් කලේ නෑ,හැමදෙයක්ම කරන්න කලින් මගේ මතය විමසන්නට ඇය පුරුදු වී සිටියා,අපේ පුතාගේ කටයුතු ගැන ගොඩක් සොයලා බැලුවේ ඇයයි.අවංකවම බිරිදක් වශයෙන් මට ඇගේ කිසිම අඩුපාඩුවක් පෙනුනේ නෑ. 

දවසක් මම උදේ ආහරය ගන්න මොහොතේ විහිලුවට වගේ ඇගෙන් ඇහුවා"හිතන්න අපි දික්කසාද වෙනවා කියලා...ඔයා මොකද ඊට පස්සේ කරන්නේ?" කියලා. ඇය පිලිතුරක් දුන්නේ නෑ,කෑම කන එකත් නවත්තලා මගේ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. දික්කසාදය කියන දේ ගැන ඇගේ සිතේ අහලකවත් නැති බව මම එයින් තේරුම් ගත්තා 

ඊට පස්සේ දවසක බිරිද මගේ කාර්යාලයට ආවා. ඒ වෙනකොට ඈන් කාර්යාලයේ හිටියේ නෑ. මගේ සේවකයෝ ඇය දිහා බැලුවේ අනුකම්පා සහගතව,ඔවුන් ඇයත් සමග කතා කිරීමේදී යමක් ඇගෙන් වසන් කරන්න උත්සාහ දරන බව පෙනුනා. මේ වෙනකොට කාර්යාලයේ සියලුම සේවකයෝ මගෙත් ඈන්ගෙත් සම්බන්ධය ගැන දැනගෙනයි හිටියේ.මම හිතන්නේ සේවකයන්ගේ හැසිරීමෙන් ඇයට යම් ඉගියක් ලැබෙන්න ඇති. ඇය ඔවුන් සමග හිනා වෙලා කතාකලත් ඇගේ දෑස් වල ලොකු වේදනාවක් ඇති බව මම දුටුවා. 

එදින සවස ඈන් කාර් යාලයට ආවා.
"ඔයා බෙකීගෙන් දික්කසාද වෙන්න ඉක්මනට.ඊට පස්සේ අපි දෙන්නට එකට ජීවත් වෙන්න පුලුවනි" ඇය දෑස් අඩවන් කරලා කිව්වා.
මම ඔලුව වැනුවා,තවදුරටත් පමා වීමෙන් පලක් නෑ කියලා මට හිතුනා.එදා රාත්‍රී ආහාර වේල ඉවර වෙලා බිරිද නැගිටින්න යනකොට මම හිතට ධෛර්ය අරගෙන කතාව පටන් ගත්තා.
"බෙකී පොඩ්ඩක් ඉන්න,මට ටිකක් කතා කරන්න ඕනි ඔයා එක්ක"
ඇය යලිත් වාඩි වෙලා මේසය දිහා බලාගෙන හිටියා.මම ආයෙත් දැක්කා ඇගේ දෑස් වල සැගවිලා තියන වේදනාව..මට කතා කරගන්න බැරි උනා,උගුරේ යමක් හිරවෙලා තියනවා වගේ තේරුනා. ඒත් මම ඇයට කියන්න ඕනෙ මට ඇගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය බව..මම හෙමින් හෙමින් මගේ ඉල්ලීම ඇයට ඉදිරිපත් කලා,නමුත් ඇය ඒ වචන වලට ගොඩක් සැලුන ආකාරයක් පෙනුනේ නෑ.අවසානයේ ඇය ඇහුවේ එකම එක ප්‍රශ්ණයක් විතරයි, 

"ඇයි" 

මට දෙන්න උත්තරයක් නැති ප්‍රශ්ණයත් එයයි. මම ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නොදී මග හැරියා.
"ඔයා මිනිහෙක් නෙවේ" ඇය ඇගේ කෝපය පිට කලේ එහෙම.
ඊට පස්සේ එදා රෑ අපි දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ. රාත්‍රිය පුරාම ඇය ඉකිබිදින ශබ්දය මට ඇහුනා.අපේ විවාහ ජීවිතේ දෙදරා යන්න හේතුව දැන ගන්න ඇයට අවශ්‍ය බව මට තේරුනත් ඒ සදහා දිය යුතු පිලිතුරක් මගේ සතුව තිබුනේ නෑ.එකම හේතුව ඈන්,ඇගේ ලස්සන සිරුරටත් ඇය මට ලබා දෙන ආදරයටත් මම වශී වෙලා,නමුත් මට ඒ බව බෙකී සමග පැවසීමේ හැකියාවක් නෑ.
ඊට පහුවදා මම අපේ දික්කසාද කොන්දේසි ලියවිල්ල සකස් කලා. අපි ජීවත් වන නිවස, අපේ මෝටර් රථය සහ මගේ ව්‍යාපාරයෙන් 30%ක් මම එයින් ඇයට පැවරුවා. මම ඒක ඉදිරිපත් කලාම ඒ දෙසවත් නොබලා එය කෑලි කෑලි වලට ඉරා දැමූ ඇය යලිත් ඉකිගසමින් වැලපුනා. මගේ හිතට යලිත් වරදකාරී හැගීමක් දැනුනා.ඇය කවදාවත් මිල මුදල් වලට ආශා කල කාන්තාවක් නොවේ. 

පහුවදා මම වැඩ අවසන් වෙලා එනකොට ප්‍රමාද වුනේ මගේ ගනුදෙනුකරුවන් සමග පැවති සාදයක් හේතුවෙන්. මම එනකොටත් ඇය අවදියෙන්.මගේ ලගට පැමිනි ඇය යම් ලියැවිල්ලක් මට ලබා දුන්නා.ඒ ඇගේ දික්කසාද කොන්දේසි. ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය නෑ. නමුත් ඇයට දික්කසාදයට මසක කාලයක් අවශ්‍ය බව එහි සටහන් වුනා. ඒ මසක කාලය අපි කලින් හිටියා වගේම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕනෙ.ඇය හේතුව ලෙස දක්වා තිබුනේ අපේ පුතා. ඔහු මේ දවස් වල පාසල් නිවාඩුව සදහා නිවසට පැමින සිටින අතර තව මාසයක් ඔහු නිවසේ සිටිනවා. ඒ මාසය ඇතුලත තම දෙමව්පියන් වෙන් වනවා ඔහුට පෙන්වීමට අවශ්‍ය නොවන බව ඇය දන්වා සිටියා.

මම කොන්දේසි පත්‍රය දිහා බලන් ඉන්නකොට ඇය කතා කලා
"ජැක්...ඔයාට මතකද අපි බැදපු දවසේ ගෙදරට ආපු විදිය?"
මේ ප්‍රශ්ණයෙන් මගේ මතකය තවමත් සුන්දර මතකයක් විදියට මගේ හිතේ තැන්පත් වෙලා තියන අපේ විවාහ දවසට ඇදිලා ගියා.
"හ්ම්ම්...ඔව් මතකයි"මම කිව්වා.
"ඔයා එදා මාව අත් දෙකෙන් ඔසවාගෙනයි ආවේ" ඇය දිගටම කතා කලා.
"මගේ ඉල්ලීමක් තියනවා...අපි දික්කසාද වෙන දවසෙත් ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ,හරියට අපේ මංගල දවසේ වගේ...අද ඉදලා අපි දික්කසාද වෙන දවස දක්වා තියන මාසේ ඇතුලතත් හැමදාම ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ"
"හා..." මම හිනා වෙලා ඇගේ අහිංසක ඉල්ලීමට එකග වුනා.
පහුවදා ඈන් හමුවුන වෙලාවේ බෙකීගේ ඉල්ලීම මම ඇයට පැවසුවා. මහ හඩින් සිනා සුන ඇය පැවසුවේ එය මහ මෝඩ ඉල්ලීමක් බවයි.
"එයා මොන මොන සෙල්ලම් දැම්මත් මාසෙකට පස්සේ එයාට දික්කසාද වෙන්න වෙයි"ඇය සමච්චල් සහගත ලෙස පැවසුවා.
දික්කසාදය පිලිබද බෙකීට දැනුම් දුන්න දවසේ ඉදලා අපි දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ,අපි ජීවත් වුනේ ආගන්තුකයෝ දෙන්නෙක් වගේ. ඒ නිසා පලවෙනි දවසේ මම ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යනකොට අපි දෙන්නාව පෙනුනේ බොහෝම අවලක්‍ෂණව,අපි දෙන්නම ගොඩක් අපහසුවෙන් ඒ අවස්ථාවට මුහුන දුන්නේ.
"මෙන්න තාත්තා අම්මාව උස්සගෙන යනවා..." අපේ පුතා අපිව දැකලා සතුටෙනුත් පුදුමෙනුත් අත්පොලසන් දෙමින් කෑ ගැසුවා.
ඒ වචන වලින් මට දැනුනේ ලොකු වේදනාවක්.
"අපි අද ඉදලා පටන් ගමු...මේ ගැන පුතාට දැන ගන්න දෙන්න එපා" නිවසින් එලියට ආ පසු ඇය සෙමින් පැවසුවා.මම ඔලුව සොලවා ඇයට එකග වුනා.
දෙවෙනි දවසේ පලවෙනි දවසට වඩා පහසුවෙන් අපි දෙන්නම හැසිරුනා. ඇය මගේ පපුවට බර වුනා. අපි දෙන්නා ගොඩක් ළං වුන නිසා මට ඇගේ විලවුන් වල සුවද දැනුනා.මට මතක් වුනා මට ගොඩක් ලෙන්ගතුව සිටි මේ කාන්තාව ගැන මම දිගු කාලෙකින් හරියට සොයා බැලුවේ නැති බව....ඇගේ මුහුනේ පැහැදිලි ලෙස රැලි දක්නට ලැබුනා,ඇය පෙර මෙන් තරුණ නැති බව මට වැටහුනා.
තුන් වෙනි දවසේ ඇයව ඔසවාගෙන යනකොට ඇය මගේ කනට කරලා මෙහෙම කිව්වා,
"ඊයේ වැස්සට මිදුල මඩ වෙලා...පරිස්සමින් යන්න"
හතරවෙනි දවසේ මම ඇයව ඔසවා ගන්නකොට මට දැනුනේ අපි දෙන්නා තවම කලින් ආදරෙන් හිටිය පෙම්වතුන් යුවලමයි කියලා. ඈන් පිලිබදව මගේ තිබුන මතකය ටිකක් විතර අපැහැදිලි වෙලා බවත් මට වැටහුනා. 

පස්වෙනි සහ හයවෙනි දවස් වලත් මම ඇයව ඔසවාගෙන එනකොට ඇය මගේ කනට කරලා යම් යම් දේවල් පැවසුවා, සෝදලා මැදපු මගේ ඇදුම් තියලා තියන තැන්,උයනකොට ප්‍රවේශම් වෙන්න වගේ පොඩි පොඩි දේවල්. මට දැනුනා මේ වෙනකොට අපි දෙන්නාගේ බැදීම තවත් වැඩි වෙලා තියන බව.මම ඈන්ට ඒ බව කිව්වේ නෑ.
දවසින් දවස මට තේරුණා ඇයව ඔසවාගෙන යාම වඩ වඩා පහසු වන බව,මට හිතුනේ දවසින් දවස මම ශක්තිමත් වෙනවා කියලා. දවසක් උදේ ලෑස්ති වෙනකොට මම මේ බව බෙකීට කිව්වා,ඒ වෙනකොට ඇය අදින්න ඇදුමක් තෝරනවා. ඇය සූදානම් වෙනකන් මම බලාගෙන හිටියේ ඇයව ඔසවාගෙන යන්න..,
"බලන්නකෝ මේ හැම ඇදුමක්ම දැන් මට ලොකුයිනේ" ඇය කනස්සල්ලෙන් පැවසුවා.මම එයට සිනා සුනත් මට තේරුනා දවසින් දවස ඇයව ඔසවාගෙන යෑම පහසු වෙන්නේ දවසින් දවස ඇය කෙට්ටු වන නිසා මිසක් මම ශක්තිමත් වන නිසා නොවන බව..ඇය ඇගේ වේදනාවන් සියල්ල හදවතේ සිරකරගෙන සිටින බව මට වැටහුනා.මට ඇය ගැන දැනුනේ ලොකු වේදනාවක්.මටත් නොදැනුවත්වම මම ඇගේ හිස අත ගෑවා. මේ වෙලාවේ අපේ පුතා කාමරේට පැමිනියා 

"තාත්තේ අම්මව ඔසවගෙන යන්න වෙලාව හරි" ඔහු කෑ ගැසුවා.
මම බෙකීව ඔසවගෙන යනවා නැරඹීම දැන් ඔහුගේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා. තමන්ගේ ලගට එන්න කියලා පුතාට ඉගි කරපු ඇය පුතාව තදින් බදා ගත්තා.මම හිස හරව ගත්තේ මගේ දෑසට නැගුන කදුලු ඇය දකීවි කියලා.දික්කසාදය පිලිබද මගේ තීරණය වෙනස් වේවි කියලා මට බය හිතුනා.මම ඇයව ඔසවා ගත්තා,ඇය අතක් මගේ ගෙල වටා දැම්මා,මම ඇයව මගේ ඇගට තද කර ගත්තා,හරියටම අපේ විවාහ දිනයේදී වගේ.
දවසි දවස ගෙවිලා ගිහින් අවසන් දිනය උදා වුනා. මම ඇයව ඔසවා ගත්තත් මට ඉදිරියට යන්න අපහසු බව තේරුනා. අපේ පුතා මේ වෙලාවේ පාසල් ගිහින් තිබුනේ.
"මම හිතුවා අපි මහලු වෙනකන්ම ඔයා මාව එදා වගේ ඔසවාගෙන යාවි කියලා" ඇය හෙමින් කිව්වා,ඇගේ දෑස් වල කදුලු පිරිලා. "අපි දෙන්නම තේරුම් ගත්තේ නෑ අපි දෙන්නගේ ජීවිත වලට ඒ වගේ බැදීමක් අවශ්‍ය බව" මම ඇයව මගේ සිරුරට තද කර ගන්න ගමන් කිව්වා.
මට වැටහුනා මම කල යුතු දේ.මම වේගයෙන් මෝටර් රථය පදවගෙන කෙලින්ම ගියේ කාර්යාලයට, මෝටර් රථයෙන් බැස්ස මම ගියේ ඈන් ලගට.
"මම දික්කසාද වෙන්නේ නෑ..." මම ඇයට කිව්වා.ඇය සිතුවේ මම විහිලුවක් කරනවා කියලා,ඇය සිනා සුනා.
"මම මේ කියන්නේ ඇත්ත...මම දික්කසාද වෙන්නේ නෑ"
ඇය මගේ දිහා පුදුම වෙලා බැලුවා.
"ඔයාට උන හැදිලාද?" ඇය මගේ නලලට අත තියන ගමන් කිව්වා.
"මට සමාවෙන්න ඈන්... මම බෙකීගෙන් දික්කසාද වෙන්නේ නෑ...මම මේ ඇත්ත කියන්නේ...මගේ විවාහ ජීවිතේ ඒකාකාරී උනේ අපි දෙන්නට දෙන්නා ආදරේ නැති නිසා නෙවේ...අපි දෙන්නා ජීවිතේ කුඩා දේවල් වල තියන අගය තේරුම් ගත්තේ නැති නිසා...මම දැන් තේරුම් අරන් තියෙන්නේ මම ඇයව මංගල දිනයේ ඔසවාගෙන ආපු මොහොතේ ඉදලා,ඇය අපේ දරුවාව බිහි කල මොහොතේ ඉදලා මම මිය යනකන්ම ඇයව ඔසවාගෙන යන්න අවශ්‍ය බව,මට ඒ බව තේරුනේ පහුගිය මාසය පුරාම මම බෙකීව ඔසවාගෙන යනකොට,මට සමාවෙන්න"""
ඈන් හදිසියේ සිහිනයකින් අවදි වුනා වගේ ඇයට සියල්ල වැටහුනා...මගේ කම්මුලට තදින් පහරක් ගැසූ ඇය හඩමින් කාර්යාලයෙන් ඉවතට දිව ගියා.
මම බෙකීට ඇමතුමක් දීලා කිව්වා මම ඇයව හමුවෙන්න එන බව. ඇය හමු වීමට යන අතරතුර,මල් සාප්පුවකට ගොඩ වැදුනු මම එයින් ඇය කැමතිම වර්ගයේ මල් කළඹක් ඇනවුම් කලා.මල් සාප්පුවේ සිටි ගැහැණු ළමයා මට කිව්වා කාඩ් පතේ මගේ සුභ පැතීම සටහන් කරන්න කියලා. 

"මම මිය යන තුරු හැමදාම උදේට ඔයාව ඔසවාගෙන යන්නම්" කියා මම එහි සටහන් කලා.

█ ♥ █ ♥ █ ආදරය ප්‍රකාශ කිරීම █ ♥ █ ♥ █

ට පෙම්වතෙක් හිටියා,එයාගේ නම ජින්. අපි දෙන්නා පොඩි කාලේ ඉදලම එකටමයි හැදුනේ වැඩුනේ. පහුගිය වසර වෙනකන් අපි දෙන්නා හොද යාලුවෝ වගේ හිටියත් පාසලෙන් ගියපු විනෝද චාරිකාවක් අතර තුර අපි දෙන්නා පෙම්වතුන් බවට පත් වුනා. සාමාන්‍ය විදියට නම් වෙන්නේ පිරිමි ළමයා ගෑණු ළමයට ආදරේ ප්‍රකාශ කිරීම වුනත් අපි දෙන්න ගෙන් මුලින්ම ආදරේ ප්‍රකාශ කලේ මම...විනෝද චාරිකාව අතරතුර මට තේරුනා මම ඔහුට ආදරය කරන බව,මම චාරිකාව නිම වෙන්නත් කලින් ඔහුට ඒ බව ප්‍රකාශ කලා,අපි පෙම්වතුන් වුනා.
අපි දෙන්නා පෙම්වතුන් වුනත් අපි දෙන්නා එකිනෙකාට ආදරේ කලේ වෙනස් විදියට.. මට හැම මොහොතම ඔහුත් සමග ගත කරන්න අවශ්‍ය වුනත් ඔහුට එහෙම උනේ නෑ. ඔහුට මිතුරියන් ගොඩක් හිටියා,මගේ ලෝකෙ එකම පිරිමියා ඔහු පමනක් වුනත් ඔහුගේ ලෝකයේ මම තවත් එක කෙල්ලෙක් විතරක්ද කියලා හිතුන වාර අනන්තයි.
"ජින් අපි අද ෆිල්ම් එකක් බලන්න යමුද" දවසක් මම ඇහුවා
"මට බෑ"
"ඇයි? පාඩම් කරන්න තියනවද?"
"නෑ යාලුවෙක් හම් බෙන්න යන්න තියනවා"

ඔහුගේ හැසිරීම් ඒ වගේ. ඔහු මගේ ඉදිරියෙදිම ඔහුගේ මිතුරියන්ව මුන ගැහෙනවා,ඔහුට මාව තවත් එක "ගෑණු යාලුවෙක්" පමනක් බවයි මට හිතුනේ.ආදරේ කියන වචනය පිට වුනේ මගේ කටින් විතරයි,මම දන්න කාලේ ඉදලම එකම එක වරක්වත් ඔහුගේ කටින් ආදරේ කියන වචනය පිට වෙලා නෑ. එයා කවදවත් "මම ඔයාට ආදරෙයි" කියලා නැති උනත් හැමදාම එක දෙයක් කලා,ඒ මට හැමදාම බෝනික්කෙක් දෙන එක,අපි හමුවෙලා සමුගන්න හැම වෙලාවෙම ඔහු මට බෝනික්කෙක් දුන්නා. කවද හරි අපිට හමු වෙන්නෙ බැරි උනොත් අපේ ගෙදර ලගට ඇවිල්ලා හරි ඒ බෝනික්කව මට දෙන්න ඔහු වග බලාගත්තා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
එක දවසක්,
මම : "ම්ම්ම්ම්...ජින්..."
ජින් : "ඇයි? ඇද ඇද ඉන්නේ නැතිව කෙලින්ම කියන්නකෝ"
මම : "මම ඔයාට ආදරෙයි"
ජින් : "ම්ම්ම්..... මෙන්න මේ බෝනික්කව අරගෙන ගෙදර යන්න"
ඔහු එහෙමයි "ආදරේ" කියන වචනය නොසලකා හැරියේ,බෝනික්කව මට දෙන ඔහු ඊට පස්සේ ගොඩක් ඉක්මනින් මගෙන් ඈත් වෙලා යනවා,හරියට මගෙන් පැනලා දුවනවා වගේ.

මෙහෙම දවසින් දවස ගෙවිලා ගිහින් මගේ 18 වෙනි උපන් දිනෙත් ලැබුවා. උදේ අවදි වුන මම ඔහුත් එක්ක මගේ උපන් දිනය සැමරීමට නගරයේ අවන්හලකට යන ගමනක් ගැන සිහින මැව්වා. මගේ උපන් දිනයට සුභ පතා ඔහුගෙන් ඇමතුමක් ලැබෙන තුරු නොයිවසිල්ලෙන් බලා සිටියා. පැයෙන් පැය ගෙවී ගොස් රාත්‍රියත් උදා වුනා,ඒත් තවම ඔහුගෙන් ඇමතුමක් නෑ. අවසානයේ රාත්‍රී 9ට පමන ඔහුගේ ඇමතුම පැමිනියා,
"පොඩ්ඩක් එලියට එනවද" ඔහුගේ ඇමතුම එපමනයි.
කෙතරම් ප්‍රමාද වී හෝ ඔහු ඇමතුමක් ලබා දීම පිලිබද ප්‍රීතියෙන් මම ඔහු හමු වීමට නිවසින් එලියට පැමිනියා. ඔහු එලියට වී බලා සිටියා,
මම : "ජින්..."
ජින් : "ආ...මේන ගන්න..."
ඔහු මට තව බෝනික්කෙක් දුන්නා
මම : "මේ මොකද්ද?"
ජින් : "දවල් මේක දෙන්න බැරි උනානේ,ඒකයි මම මේක දෙන්න ආවේ,මම යනවා,බායි."
මම : "යන්න එපා,ඔයා දන්නවද අද දවස මොකද්ද කියලා?"
ජින් : "අද? මොකද්ද?"
මට ගොඩක් දුක හිතුනා...මම හිතුවා ඔහුට මගේ උපන් දිනේ මතක ඇති කියලා,ආපසු හැරුනු ඔහු යන්න ගියා
මම : "ජින්...ජින්..ඉන්න"
ජින් : "ඇයි? මොනවා හරි කියන්න තියනවද?"
මම : "මට කියන්න ඔයා මට ආදරෙයි කියලා"
ජින් : "මොකක්?"
මම : "කියන්න......""

මම ඔහුට යන්න නොදී ඔහුගේ ඇගේ එල්ලුනා.නමුත් බොහෝම සරළ වචන කීපයක් කිව්ව ඔහු මගෙන් ඈත් වෙලා යන්න ගියා. "මට කියන්න ඕනි නෑ, කාටවත් ආදරෙයි කියලා මම එච්චර ලේසියෙන් කියන්නේ නෑ,ඔයාට ඔච්චරටම ඒක අහන්න ඕනි නම් වෙන කෙනෙක්ව හොයා ගන්න"" ඔහු එහෙමයි කිව්වේ.
ඔහු කොහොමද එහෙම දෙයක් මට කිව්වේ කියලා මම ඇදට ඇවිත් කල්පනා කලා,ඔහු මට නොගැලපෙන බව මට මුලින්ම සිතුනේ එදා.මම සතියක් විතර පාසල් ගියේ නෑ.ඒ දවස් කීපයම මම ගත කලේ හඩමින්. ඔහු ඒ සතියේම මට ඇමතුමක්වත් දෙන්න උත්සාහ කලේ නෑ,ඒත් හැමදාම ඇවිත් බෝනික්කෙක් දීලා යන්න අමතක කලෙත් නෑ.
සතියකට පස්සේ මම පාසල් ගියා,ඒත් පාසලට ඇතුල් වෙන්නත් කලින් මම ඔහුව දුටුවා. ඔහු පාරේ තවත් කෙල්ලෙක් සමග කතා කරමින් ඉන්නවා,ඔහුගේ අතේ බෝනික්කෙකුත් සිටියා. ඔහුගේ මුහුනේ තිබුනේ කවදාවත් මට නොපෙන්නපු විදියේ ආදරණීය හිනාවක්. මට තව දුරටත් ඒ දසුන බලන්න පුලුවන් කමක් තිබුනේ නෑ,මම ආපසු නිවසට ආවා. කාමරයට ගිය මම දැක්කේ ඔහු විසින් මට ලබා දී ඇති සිය ගණනක් වූ බෝනික්කන් පමනයි. ඇයි ඔහු මේවා මට දුන්නේ? ඔහු මේවා ලබා ගන්නේ වෙනත් කෙල්ලොන්ගෙන් වෙන්න ඕනි. සිතට නැගුනු කෝපයත් සමග මම බෝනික්කන්ව කාමරය පුරා විසි කලා.
ඒ මොහොතේ දුරකථනය නාද උනා,ඔහුගෙන් ඇමතුමක්. මට නිවසින් පිටතට එන්න කියලා ඔහු ඉල්ලීමක් කලා.මම සිතාගත්තා අද අපේ සම්බන්ධය අවසන් කරන බවට..
ඔව් අද මම ඔහු හමු වෙන අවසන් දිනයයි. කදුලු පිසගත් මම නිවසින් පිටතට පැමිනියා.ඔහු නිවසින් පිටත පාරේ රැදිලා හිටියා,ඔහුගේ අතේ අද හිටියේ විශාල බෝනික්කෙක්...
ජින් : "ජෝ...මම හිතුවා ඔයා තවම අඩ අඩ ඇති කියලා"
සමච්චල් සහගත සිනාවක් සමග ඔහු එහෙම කිව්වා. සිදු වූ සියල්ල නොසලකා මාව විහිලුවට ගත් ඔහු ගැන මගේ සිතේ ඇති වුනේ වෛරයක්.
ජින් : "ආ මේක ගන්න""
ඔහු සුපුරුදු පරිදි බෝනික්කව මගේ දෙසට දික් කලා
මම : "මට ඕනි නෑ"
මම තරහෙන් කිව්වා
ජින් : "මොනවා...ඇයි?"
මම බෝනික්කව ඔහුගේ අතින් උදුරගෙන පාරට විසි කලා

"මට මේ බෝනික්කව අවශ්‍ය වෙන්නේ නෑ...ආයේ කවදාවත් මට තමුසෙගෙ බෝනික්කෝ ඕනෙ නෑ...මට තමුසේ වගේ මිනිහෙක්ව දකින්නවත් අවශ්‍ය නෑ මීට පස්සේ" මම කෝපයෙන් කෑ ගැසුවා.
නමුත් ඔහු වෙනදා වගේ නෙවේ...මම දැක්කා කදුලු වලක්වගන්න ඔහුගේ ඇසි පිය වේගෙන් සැලෙනවා "මට සමාවෙන්න""""" සෙමින් කිව්ව ඔහු බෝනික්කව අහුල ගන්න ගියා.
"පිස්සෙක්ද ඔයා? ඔය බෝනික්කව විසි කරලා දානවා...ඔය බෝනික්කෝ මොකටද?"
ඒත් මට කන් දුන්නේ නැති ඔහු බෝනික්කා දෙසට පා නැගුවා.මේ වෙලාවේ මට ඇහුනා වාහනයක හෝන් ශබ්දයක්,විශාල ලොරියක් අපි දෙසට එනවා.ඒත් මේක නොදැක්ක ජින් පාර මැද්දට යනවා බෝනික්කව අහුල ගන්න.
"ජින්...ජින්...ආපහු එන්න..වාහනයක් එනවා..."මම කොච්චර කෑ ගැහුවත් පලක් උනේ නෑ.
විශාල ශබ්දයක් ඇහුනා...ජින්ව ලොරි රථයේ ගැටුනා...ඔහු තවත් එක වචනයක්වත් නොකියා මගෙන් සදහටම සමු ගත්තා.
එයින් පසු දින ගණනාවක් මම කාමරයෙන් එලියට පැමිනියේ නෑ. ඔහුගේ මරණයේ දුකත් ඒ පිලිබද වරදකාරී හැගීමකුත් මගේ සිතේ තිබුනා.
එක දවසක් මම ඔහු මට දුන්න බෝනික්කන් සියල්ල රැගෙන ඒවා ගණන් කරන්න පටන් ගත්තා.අපි මුලින්ම ආදරේ කරපු දවසේ ඉදන් ඔහු මිය ගිය දවස වන තුරු දිනපතා ලබා දුන් බෝනික්කන් විශාල සංඛ්‍යාවක් මගේ කාමරයේ පිරී තිබුනා.
එකයි...දෙකයි...තුනයි... හාරසිය අසූ හතරයි...හාරසිය අසූ පහයි.
බෝනික්කන් හාරසිය අසූ පහක් ඔහු විසින් මට ලබා දී තිබුනා. ඔහු සමග ගත කල ඒ දවස් මතක් වීමෙන් මට ලොකු දුකක් දැනුනා.බෝනික්කන් තදින් තුරුලු කරගත් මම මහ හඩින් හඩන්න උනා. ඒත් හදිසියේම "මම ඔයාට ආදරෙයි" "මම ඔයාට ආදරෙයි" කියලා ජින් ගේ හඩින් මට ඇහුනා. විශ්මයට පත් වූ මම එක් බෝනික්කෙකු රැගෙන එහි උදර ප්‍රදේශය තද කලා.
"මම ඔයාට ආදරෙයි" යලිත් ජින් ගේ හඩ...මම විශ්මයෙන් ගල් ගැසුනා... සෑම බෝනික්කෙකුගේම උදර ප්‍රදේශය තද කල විට ඇසුනේ ජින් සෙමින් "මම ඔයාට ආදරෙයි" කියන ශබ්දය...
ඇයි මට මේක කලින් තේරුණේ නැත්තේ? ඇයි ඔහුගේ සිතේ මට තියන ආදරය මට පෙනුනේ නැත්තේ? මම ඔහු ගැන කෙතරම් වැරදියට සිතුවත් ඔහු මියයන තුරුම මට ආදරය කර ඇති බව මට වැටහුනේ ඒ මොහොතේයි.
අවසානයේ මම අවසන් දිනයේ ඔහු ලබා දුන් විශාල බෝනික්කාව ඇද යටින් එලියට ගත්තා.එහි තැනින් තැන ඔහුගේ ලේ පැල්ලම්.එහි උදර ප්‍රදේශය තද කල විට මට යලිත් ඇහුනේ ඔහුගේ ආදරණීය හඩ....
"ජෝ..ඔයා දන්නවද අද දවස මොකද්ද කියලා? අදට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගෙන දවස් 486ක්...ඔයා දන්නවද 486 කියන්නේ මොකද්ද කියලා? මම ඔයාට කවදාවත් ආදරෙයි කියලා නෑ...මට සමාවෙන්න.... .මම හැමදාම ඔයාට ආදරෙයි කියනවා කියලා හිතුවත් ඔයා ලගදි මට ඒ වචන පිට කරගන්න බෑ...ඒකයි මම හැමදාම පොඩි බෝනික්කෙක් ඔයාට දුන්නේ... ඔයා මට සමාව දීලා මේ බොනික්කව ගත්තොත් මම අද ඉදලා මම මැරෙන තුරු හැමදාම ඔයාට ආදරෙයි කියනවා...ඔව් ජෝ...මම ඔයාට ආදරෙයි"
මට මාවම පාලනය කරගන්න බැරි වුනා...මගේ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ආවා...මම දෙවියන්ගෙන් ඇහුවා ඇයි මට මේ දේවල් තේරෙන්න මෙච්චර පරක්කු වුනේ කියලා...ඇයි මට ඔහුගේ ආදරය කලින් නොතේරුනේ.
(486 යනු කොරියන් භාශාවෙන් I LOVE YOU වෙනුවට භාවිතා කරන වදනකි.)

█ ♥ █ සැබෑ ආදරයට හේතුවක් අවශ්‍ය වෙන්නේ නෑ █ ♥ █

වසක් පෙම්වතුන් දෙදෙනෙක් මුන ගැහිලා කතා කර කර ඉන්නවා... 

ගෑණු ළමයා : "ඇයි ඔයා මට ආදරේ කරන්නේ?"
පිරිමි ළමයා : "මට ඒකට හරියටම උත්තරයක් කියන්න බෑ,ඒත් මම ඔයාට ගොඩාක් කැමතියි."
ගෑණු ළමයා : "ඔයාට හරියට හේතුවක් කියන්නත් බෑ,ඔයා කොහොමද කියන්නේ ඔයා මට කැමතියි කියලා? මට ආදරෙයි කියලා?"
පිරිමි ළමයා : "මම ඇත්තටම හේතුවක් දන්නේ නෑ,ඒත් මට පුලුවනි මම ආදරෙයි කියලා ඔප්පු කරන්න." 

ගෑණු ළමයා : "ඔප්පු කරන්න? නෑ මට හේතුවක් ඕනි. මගේ යාලුවෝ හැමෝගෙම බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එයාලට කියලා තියෙන්නේ ඇයි එයාලා ආදරේ කියලා,ඒත් ඔයාට බෑ."
පිරිමි ළමයා : "හරි හරි...ම්ම්ම්.....ඔයා ලස්සන නිසා..ඔයාගේ කට හඩ ගොඩක් මිහිරි නිසා...ඔයා මගේ ගැන ගොඩක් හොයලා බලන නිසා...ඔයාගේ හිනාව නිසා..." 

ගෑණු ලමයාට ගොඩාක් සතුටු හිතුනා. තව ටිකක් වෙලා කතා කර කර හිටිය මේ දෙන්නා වෙන් වෙලා ගියා. ඒත් එදා හවස ගොඩාක් අවාසනාවන්ත සිදුවීමක් උනා,ගෑණු ළමයා ගොඩක් ලොකු අනතුරකට මුහුන දුන්නා. අනතුරෙන් පස්සේ ගෑණු ළමයා සිහි මුර්ච්ජා තත්වෙට පත් වුනා. ගෑණු ළමයව බලන්න ආපු පිරිමි ළමයා ගෑණු ළමයා ලගින් ලියුමක් තියලා යන්න ගියා,ඒ ලියුමේ මෙහෙම සටහන් උනා. 

සොදුරිය,
මම ඔයාට ආදරේ කලේ ඔයා ලස්සන නිසයි,ඒත් ඔයා ඉස්සර වගේ ලස්සන නෑ,ඒ නිසා මට ඔයාට තවදුරටත් ආදරේ කරන්න බෑ. මම ඔයාට ආදරේ කලේ ඔයාගේ කටහඩ ගොඩක් මිහිරි නිසා,ඒත් ඔයාට දැන් කතා කරන්න බෑ,ඒ නිසා මට ඔයාට තවදුරටත් ආදරේ කරන්න බෑ. මම ඔයාට ආදරේ කලේ ඔයා මා ගැන හොයලා බැලුව නිසා ඒත් ඔයාට දැන් ඒ වගේ මම ගැන හොයලා බලන්න විදියක් නෑ,ඒ නිසා මට ඔයාට ආදරේ කරන්න විදියක් නෑ. 

අද උදේ ඔයා මගෙන් ඇහුවා වගේ දැන් ඔයා මගෙන් ඔයාට ආදරේ කරන්න හේතුවක් ඇහුවා නම් මට කියන්න උත්තරයක් ඉතිරි වෙලා නෑ. ඒත් ඔයා දැන් මගෙන් ඇහුවොත් මම ඔයාට තවම ආදරේද කියලා මම උත්තර දෙන්නේ "ඔව්" කියලා,ඒ වගේම මම ඔයාට කලින් වගේම දිගටම ආදරේ කරනවා,ඒ මොකද ආදරේට හේතුවක් අවශ්‍ය නෑ කියලා මම විශ්වාස කරන නිසා.