මනුෂ්‍යත්වය සොයා යමි

Wednesday, March 14, 2012

ජනේලය!

   ඉතා දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන් දෙදෙනෙක් රෝහලක එකම කාමරයක නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඔවුන්ගෙන් එක් රෝගියෙකුට සෑම දිනකම සවස 5 සිට පැයක් ඔහුගේ ඇද මත ඉදගෙන සිටීමට සැලස්සුවේ ඔහුගේ පෙනහලු වල එකතු වන යම් දියර විශේෂයක් ඉන් පිට කිරීමේ අරමුණින්. ඔහුගේ ඇද තිබුනේ කාමරයේ තිබූ එකම ජනේලය අසලයි. අනෙක් රෝගියාට රෝගී තත්ත්‍වය නිසා මුලු දවසම ඇඳ මත නිදා සිටීමට සිදු වුනා

රෝගීන් දෙදෙනා පැය ගණන් කතා කළා. බොහෝ විට ඔවුන් දෙදෙනා කතා කලේ තමන්ගේ පවුලේ විස්තර,තමන්ගේ රැකියාවන් වල විස්තර, තමන් කැමති ක්‍රීඩාවන් ගැන සහ රටේ දේශපාලනය ගැනයි.

සෑම දිනකම ජනේලය අසල සිටින රෝගියා ඇද මත හිඳ ගත් විට ඒ පැයක කාලය ඔහු ගත කලේ ජනේලයෙන් ඔහු දකින පිටත ලෝකය අනෙක් රෝගියාට විස්තර කිරීමටයි.
දරුණු ලෙස රෝගාතුර වී ජීවිතය ගැන කලකිරී අනෙක් ඇද මත සිටි රෝගියා සෑම දිනකම සවස උදා වන තමන් ගේ ලෝකය ප්‍රාණවත් කරන තම ජීවිතයට නව ප්‍රාණයක් ලබා දෙන මේ පැයක කාලය වෙනුවෙන් ජීවත් වීමට පටන් ගත්තා!

ජනේලය අසළින් පිහිටියේ ඉතා පියකරු උද්‍යානයක්. එය ඉතා මනරම් කුඩා දිය ඇලි සහ විල් වලින් සමන්විත වුනා. විලෙහි ඕළු, නෙළුම්, මහනෙල් මල් පිපී තිබුණු අතර ඉතා ලස්සන හංසයන් විල මත පීන පීන හිටියා. කුඩා ළමුන් ඒ මත කුඩා බෝට්ටු පදවමින් විනෝද වුනා. උද්‍යානය පාට පාට මල් වලින් පිරී තිබුණු අතර පසෙකින් තවත් ළමුන් ඔන්චිලි පැද්දා. සීසෝ පැද්දා. තරුණ පෙම්වතුන් අතිනත අල්ලාගෙන උද්‍යානය පුරා සක්මන් කලා.
ඈතින් දර්ශණීය කඳු වැටියක් දිස් වුණා. හවසට හිරු එළිය වැටුණු කඳු මුදුන් රන් වන් පැහැයෙන් බැබළුනා. කැදළි බලා යන කුරුළු රංචු අහසේ රටා මැවුවා. වලාකුළු එක එක රූප මැවුවා.

ජනේලය අසළ ඇඳ මත සිටි මිනිසා සෑම සවසකම ඔහු දකින ජනේලයෙන් පිටත ඇති ඒ සිත්කලු දසුන් විස්තර කරන විට අනෙක් ඇද මත සිටි මිනිසා තම දෙනෙත් වසා ගෙන ඒ සොඳුරු දසුන් සිතින් මවා ගැනීමට උත්සාහ කළා.
ඔහුගේ දරුණු රෝගී තත්වය කෙමෙන් කෙමෙන් සුව අතට හැරුණා. දින සති ගෙවී ගියා.

දිනක් උදෑසන රෝගීන් ගේ උදෑසන ආහාර රැගෙන පැමිනි හෙදියක් දුටුවේ ජනේලය අසල ඇද මත සිටි රෝගියාගේ නිසල දේහයයි........ ඔහු සාමකාමීව නින්දෙන්ම මිය ගොස් තිබුනා.... තම මිතුරාගේ ආභාවය දැන ගත් අනෙක් ඇද මත සිටි මිතුරා බොහෝ දුක් වුනා.

ටික වේලාවකින් ඔහුගේ දේහය ඉවතට ගෙන ගියා. අනෙක් ඇද මත සිටි පුද්ගලයා හෙදියගෙන් ඉල්ලීමක් කලා. එනම් තමන්ට ජනේලය අසල ඇදට යාමට අවශ්‍ය බවයි. හෙදිය ඒ පිලිබදව සතුට පල කල අතර ඔහුව ජනේලය අසල ඇදට මාරු කලා.

ජනේලය අසල ඇද මතට පැමිනි රෝගියාට ජනේලයෙන් එහා ඇති තම මිතුරා විස්තර කල ඒ විසිතුරු ලෝකය බැලීමට සිත් වුණා.

ඔහු ඉතා අපහසුවෙන් මදක් ඉස්සී ජනේලයෙන් එබී බැලූ අතර ඔහු දුටු දෙයින් අන් ද මන් ද වුනා!

ජනේලයෙන් එපිට තිබුනේ විශාල හිස් බිත්තියක්.

හෙදිය පැමිනි පසුව ඔහු හෙදියට සියලු දේ පවසා මියගිය මිතුරා ජනේලයෙන් එපිට ඉතා පියකරු ලෝකයක් විස්තර කිරීමට හේතුව කුමක් විය හැකි දැයි විමසා සිටියා.

"ඔහු අන්ධයි.... ඔහුට කිසිවක් පේන්නෙ නෑ".......... හෙදිය සෙමින් පැවසුවා..........

"සමහර විට ඔහුට ඔබව ධෛර්‍යමත් කිරීමට අවශ්‍ය වෙන්න ඇති!"

අප ජීවත් විය යුත්තේ අනුන් වෙනුවෙනි!
තමන් කොපමණ දුර්වල වූවත් තවත් කෙනෙක් වෙනුවෙන් අපට යමක් කළ හැකි බව සිතට ගන්න!

ඔහු හෝ ඇය වෙනුවෙන්

ජීවිතය කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද?
සමහර වෙලාවට සිත් රිදවෙන විදියේ දේවල් සිද්ධ උනත් ජීවිතය කියන්නේ ඒ හැම දේකම එකතුවට නේද?
අපි හැමෝටම නැතත් ගොඩක් අයට සුන් දර ළමා කාලයක තියනවා...
පස්සේ අපි තරුණ වයසට ඇවිත් ආදරය කරන්න පටන් ගන්නවා
කාලය ගෙවිලා යනවා අපිත් අපි ආදරය කරන අයත් වයසට යනවා...එහෙම ගිහින් කවදා හරි ඒ අය අපෙන් වෙන් වෙලා අපි මේ ලෝකේ තනි වෙනවා...
එහෙම වෙන් උනත් ඒ අයට අපේ හිතේ තියන ආදරේ නැති වෙනවද?
අපි ප්‍රාර්ථනා කරන ලබන ආත්මෙත් ඒ අය අපේම වෙලා ඉපදෙන්න කියලා නේද?
බලන්න මේ පින්තූරය..ඒකෙ තියන කතාව කොච්චර සුන්දරද?
ඒ අපි හැමෝගෙම ජීවිත කතාවේ සාරාංශය නේද?

ඔබත් ඔබේ ජීවිතයේ කවදා හරි කාට හරි අවංකව ආදරය කරලා තියනවා නම්...
කවුරු හරි ඔබේ ජීවිතය වෙනස් කරලා තියනවා නම්...
ඔබේ ජීවිතය ලස්සන කරලා තියනවා නම්...

මේ ඔහු හෝ ඇය වෙනුවෙන්

ධනවත් පියා

තාත්තලගේ ආදරය මේ වගේ

 යස අවුරුදු 80ක් වන මහලු මිනිසෙක් ඔහුගේ පුතාගේ නිවසේ උද්‍යානයේ වූ බංකුවක් මත වාඩි වී සිටියා. වයස අවුරුදු 45ක් වන හොදින් ඉගෙන ගෙන ඉහල පෙලේ රැකියාවක් කරන ඔහුගේ පුතාත් පසෙකින් වාඩි වී සිටියා.

හදිසියේම පැමිනි කපුටෙකු නිවසේ ජනේලයක් මත වැහුවා.

මහලු තාත්තා පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
පුතා පිලිතුරු දුන්නා "ඒ කපුටෙක්" කියලා...

මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
"ඇයි මේ" පුතා පිලිතුරු දුන්නා "මම දැන් ටිකකට කලින් කිව්වේ ඒ ඉන්නේ කපුටෙක්"

තව මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් අහුවා "ඒ මොකෙක්ද" කියලා තුන් වෙනි පාරටත්...
මේ සැරේ පුතාට තරහා ගියා..පුතා මෙහෙම කිව්වා "මොකද මේ? මම දැන් කී පාරක් කිව්වද? ඒ ඉන්නේ කපුටෙක්! කපුටෙක්!!"

තව මිනිත්තු කීපයකින් තාත්තා හතර වෙනි පාරටත් පුතාගෙන් "ඒ මොකෙක්ද" කියලා ඇහුවා...
මේ පාර නම් පුතාට හොදටම තරහා ගියා...පුතා තරහෙන් මෙහෙම කෑ ගැහුවා "මොකද වෙලා තියෙන්නේ? කියන දෙයක් තේරෙන්නේ නැද්ද? ඒ ඉන්නේ කපුටෙක් බව මම කී පාරක් කිව්වද? ඇයි එකම ප්‍රශ්ණේ මගෙන් දිගටම අහන්නේ" කියලා...

ටික වෙලාවකින් තාත්තා නිවස ඇතුලට ගිහින් ගොඩක් පරණ රැලි ගැහුන දිණ පොතක් ගෙනාවා...
දිණ පොතේ එක පිටුවක් පෙරලපු තාත්තා ඒක පුතාට දීලා හයියෙන් කියවන්න කිව්වා..
දිණ පොතේ මෙහෙම ලියලා තිබුනා.

"අද මම මගේ වයස අවුරුදු 3ක් වෙන පොඩි පුතා එක්ක බංකුවේ වාඩි වෙලා හිටියා ඒ වෙලාවේ ආපු කපුටෙක් ගෙදර ඉස්සරහා ජනේලේ වැහුවා...ඒක දැකපු මගේ පුතා 23 පාරක් ඒ මොකෙක්ද තාත්තේ කියලා මගෙන් ඇහුවා...ඒ අහපු හැම පාරම ඒ කපුටෙක් කියලා මගේ පුතාට මම කිව්වා...ඒ උත්තර දුන්න හැම වතාවෙම මම මගේ පුතාව ආදරෙන් තුරුල් කර ගත්තා"
ගොඩක් හැගීම්බර වුන පුතා හඩමින් තාත්තාව ආදරෙන් බදා ගත්තා...

තාත්තලගේ ආදරය මේ වගේ...අම්මලා වගේ අපිට ආදර පෙන්නන්නේ නැති වුනාට එයාලා කොච්චර තමන්ගේ දරුවන්ට ආදරය කරනවාද?
ඒත් අපි පුංචි කාලේ මුලු ලෝකය ගැනම අපි නොදන්න දේ අපිට කියලා දෙන තාත්තා මහලු වයසට පත් වුනාම අපි එයාට ඒ ආදරය රැකවරණය ලබා දෙනවද?


***ජීවිතයේ වඩා වැදගත් දේ***

  දවසක් දා ගුරුවරයෙක් තමන් ගේ පන්ති කාමරයට ඇවිත් මේසය උඩින් පාර්සල් වගයක් තිබ්බා. පන්තිය පටන් ගත්තට පස්සේ එයා වචනයක්වත් කතා නොකර පාර්සලයෙන් ගත්ත ලොකු බෝතලයකට ගල් කැබලි දාලා ඒක පිරෙව්වා.
ඊට පස්සේ පන්තිය පැත්තට හැරුන ගුරුවරයා ළමයින් ගෙන් ඇහුවා දැන් බෝතලය පිරිලාද කියලා,ළමයි ඔව් කිව්වා.
ආයෙත් පාර්සලයෙන් කලින් ගත්ත ගල් කැබලි වලට වඩා කුඩා ගල් කැබලි ගත්ත ගුරුවරයා ඒවත් අර ලොකු බෝතලයට දැම්මා,දාල ලොකු ගල් කැබලි අතරට පොඩි ගල් කැබලි යන විදියට හෙමින් සෙලෙව්වා.
ගුරුවරයා නැවතත් ළමයින් ගෙන් ඇහුවා දැන් බෝතලය පිරිලාද කියලා,ළමයි නැවතත් ඔව් කිව්වා.
ගුරුවරයා ආයෙත් පාර්සලයෙන් වැලි වගයක් අරගෙන නැවතත් ඒවා බෝතලයට දැම්මා,දැන් බෝතලයේ කිසිම හිඩසක් නැතිව ලොකු ගල් වලිනුයි,පොඩි ගල් වලිනුයි,වැලි වලිනුයි පිරිලා. ගුරුවරයා ළමයින් ගෙන් නැවතත් කලින් ප්‍රශ්නෙම ඇහුවා..ළමයිනුත් කලින් උත්තරේම දුන්නා,ඒ කියන්නේ බෝතලය පිරිලා කියල පිලි ගත්තා.

පන්තිය පැත්තට හැරුන ගුරුතුමා මෙහෙම කිව්වා.

"මේ ලොකු බෝතලයෙන් නිරූපනය කරන්නේ ඔබේ ජීවිතයයි. මේ ලොකු ගල් කැබලි යනු ඔබේ ජීවිතයේ ගොඩක්ම වැදගත්, ගොඩක්ම වටිනා දේවල් - ඔබේ පවුල,ඔබේ මව, ඔබේ පියා,ඔබේ සහකරුවා/සහකාරිය,ඔබේ දරුවන් සහ ඔබේ සෞඛ්‍ය වැනි දේවල්. ජීවිතයේ අනිත් සියලුම දේවල් නැති වී මේ දේවල් පමනක් ඉතිරි වූවත් ඔබේ ජීවිතය තවමත් සම්පූර්ණයි."

"මේ කුඩා ගල් කැබලි යනු ඔබේ ජීවිතයේ වටිනාකමින් මදක් අඩු දේවලුයි - ඔබේ රැකියාව,ඔබේ නිවස,ඔබේ වාහනය වැනි දේවල්."

"වැලි යනු ජීවිතයේ අනෙල් සියලුම දේයි - ජීවිතයේ කුඩා කුඩා දේවල්."

"ඔබ මේ බෝතලයට ප්‍රථමයෙන් වැලි පිරෙව්වා යැයි සිතන්න,එවිට ලොකු ගල් කැබලි වලට හෝ කුඩා ගල් කැබලි වලට බෝතලයේ ඉඩ මදි වෙනවා, ප්‍රථමයෙන් කුඩා ගල් කැබලි දැම්මා යැයි සිතන්න,එවිට ලොකු ගල් කැබලි වලට බෝතලයේ ඉඩ මදි වෙනවා. ඔබේ ජීවිතයත් එසේමයි."

"ඔබ ජීවිතයේ වැදගත් කමින් අඩු දේවල් වලට මුල් තැන දුන්නොත් ඔබේ ජීවිතයේ වටිනාම,වැදගත්ම දේවල් වලට ඇති අවධානය අඩු වෙනවා.
ඔබේ ජීවිතයේ වටිනාම දේවල් සදහා ඇති අවධානය වැඩි කරන්න. ඔබේ පවුල,ඔබේ මව, ඔබේ පියා,ඔබේ සහකරුවා/සහකාරිය,ඔබේ දරුවන් සහ ඔබේ සෞඛ්‍ය වැනි ජීවිතයේ ඔබට වරක් අහිමි වුනොත් සදාකාලිකව ඒ අඩුව පිරවීමට නොහැකි දේවල් හදුනා ගන්න. ඔබේ රැකියාව,ඔබේ වාහනය,ඔබේ නිවස සහ අනෙක් සුලු දේවල් ඔබට වරක් අහිමි වූවත් ඒවා නැවත ලබා ගත හැකි බව වටහා ගන්න."

කිරි වීදුරුව

   හෝවාර්ඩ් කෙළී කියන්නේ කුඩා නගරයක ජීවත් වුන දුප්පත් ළමයෙක්,මෙයා ඉස්කෝලේ යන්න සල්ලි හොයා ගත්තේ ගෙයින් ගෙට ගිහින් බඩු විකුණලා. දවසක් මෙයා වෙළදාමේ යනකොට ලොකු බඩගින්නක් ආවා. ඒත් මෙයා ලග ඉතිරි වෙලා තිබුනේ බොහෝම සුලු මුදලක් නිසා මෙයා හිතුවා ඊලගට යන ගෙදරින් කන්න දෙයක් ඉල්ලනවා කියලා. ඊලග ගෙදරට ගිහින් දොරට තට්ටු කලාම දොර ඇරියේ ගොඩක් ලස්සන තරුණ ගෑණු ළමයෙක් නිසා මෙයාට කන්න දෙයක් ඉල්ලන්න ලැජ්ජා හිතිලා බොන්න වතුර ටිකක් ඉල්ලුවා. ඇයට හිතුනා මේ පිරිමි ළමයට ගොඩක් බඩගිනි පාටයි කියලා,ඒ නිසා වතුර වීදුරුවක් වෙනුවට කිරි වීදුරුවක් ගිහින් හෝවාර්ඩ් කෙළීට දුන්නා.

හෝවාර්ඩ් කෙළී බොහෝම ආශාවෙන් මේ කිරි වීදුරුව පානය කරලා ඇහුවා
"මැඩම් මම ඔබට කොපමන ණයද" කියලා.
"ඔයා මට කීයක්වත් ණය නෑ" මදක් සිනාසුන ඇය කීවා "අපේ අම්මා කියලා තියනවා කරුණාවෙන් දෙන දෙයට මුදල් ගන්න එපා කියලා".
"එහෙනම් මැඩම් මම මගේ හදවතින්ම ඔයාට ස්තූති කරනවා...ඔයාට ගොඩාක් ස්තූතියි මැඩම්" කිව්ව හෝවාර්ඩ් කෙළී ආපහු යන්න පිටත් උනා.

ඒ ගෙදරින් පිට වෙනකොට බීපු කිරි වීදුරුව නිසා එයා ශාරීරිකව පමනක් නෙවේ මානසිකවත් ගොඩක් ශක්තිමත් වෙලයි හිටියේ.මිනිසුන් ගැන එයාගේ තිබුන විශ්වාසය ගොඩක් වැඩි උනා ඒ සිද්ධියෙන්.
මේ සිද්ධියෙන් පස්සේ වසර ගණනාවක් ගෙවිලා ගියා. හදිසියේම මේ කාන්තාව බරපතල විදියට අසනීප උනා. ඇය ජීවත් වුන කුඩා නගරයේ වෛද්‍යවරුන්ට ඇගේ රෝගය නිශ්චය කිරීමට නොහැකි වූ නිසා ඇයව විශාල නගරයක විශාල රෝහලක් වෙත යැවුවා. මේ වෙනකොට වෛද්‍ය උපදේශකයෙක් ලෙස වෛද්‍ය හෝවාර්ඩ් කෙළී සේවය කලේත් මේ රෝහලේ. රෝහලේ නේවාසිකව සිටින ගොඩක් දුර්ලභ රෝගයක් ඇති මේ කාන්තාවගේ පදිංචි නගරය තමන් ගේ නගරයම බව දැන ගත් පසු වෛද්‍ය හෝවාර්ඩ් කෙළී ඉක්මනින් ඇයව බලන්න ගියා. ඇය සිටින කාමරයට ඇතුල් වී ඇයගේ මුහුන දුටු පමනින් වෛද්‍ය හෝවාර්ඩ් කෙළී ඇයව හදුනා ගත්තා.

එතැන් පටන් සති ගණනාවක් යන තුරු ඔහු ඇය වෙනුවෙන් කැප වී ඇයගේ රෝගය සුව කිරීමට මහන්සි ගත්තා.ඔහුගේ මහත් කැප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඇය සම්පූර්ණ සුවය ලැබුවා,නමුත් තමන්ව සුව කලේ තමන් වසර ගණනාවකට පෙර කිරි වීදුරුවකින් සංග්‍රහ කල ඒ කොලු ගැටයා බව හදුනා ගැනීමට ඇයට නොහිකි වුනා.

අවසානයේ ඇය රෝහලෙන් නික්ම යන දිනය උදා වුනා. ඇයගේ ප්‍රතිකාර සහ නේවාසිකව සිටි කාලය සදහා වුන බිල් පත අවසන් අනුමැතිය සදහා වෛද්‍ය හෝවාර්ඩ් කෙළී වෙත ගෙන ආවා. බිල් පත හොදින් පරීක්‍ෂා කල ඔහු එහි කොනක යමක් සටහන් කර ඔහුගේ මුද්‍රාව තබා නැවත බාර දුන්නා.

කාන්තාව වෙත ගෙන ආ බිල් පත ඇයට බාර දුන්නා. ඇය සෙමින් එය විවෘත කලා,ජීවිත කාලය පුරාම මහන්සි වුනත් ගෙවීමට නොහැකි විශාල මුදලක් එහි සටහන්ව ඇති බව ඇයට හොදටම විශ්වාසයි. බිල්පත විවෘත කල විට එහි කොනක සටහන්ව ඇති යමක් වෙත ඇගේ අවධානය යොමු වුනා.

"සම්පූර්ණ මුලු මුදලම කිරි වීදුරුවකින් ගෙවන ලදී"

සහතික කලේ,
වෛද්‍ය හෝවාර්ඩ් කෙළී.

ඔබට ජීවිතයේ හමුවන දුප්පත් පොහොසත් බාල මහලු සෑම කෙනෙකුටම කරුණාව දක්වන්න, ඔහුට හෝ ඇයට ඔබෙන් ඉටුවිය යුතු යුතුකමක් ඇතිනම් එය ඉටු කරන්න.
යම් දිනක ඔබට එහි ප්‍රතිඵල ලැබෙනු ඇත.

මේ ලෝකයම පිරී තියෙන්නේ තමන්ව තේරුම්ගන්න පුළුවන් අය සොයන මිනිස්සුන්ගෙන්

   ගොවියකු සතුව විකුණාගත යුතුව බලු පැටවුන් 4 දෙනෙකු විය. ඔහු ඒ පිළිබඳව සටහන් තැබූ දැන්වීමක් ගෙන ගොවිපළ අසල වූ කණුවකට එය සවි කිරීමට පළමු ඇණය ගැසුවා පමණි ඔහුගේ සාක්කුවෙන් යමෙකු අදිනු දැනී ඔහු හැරී බැලීය.

''මාමේ, මාත් කැමතියි ඔයාගේ එක බලු පැටියෙක්ව ගන්න. මට එක්කෙනෙක්ව දෙනවද?''
''අනේ පුතේ, ඔයා ගාව සල්ලි තියෙනවද බලු පැටියෙක්ව ගන්න?''
තම පුංචි කලිසම් සාක්කුවට අත රුවා කාසි,නෝට්ටු කිහිපයක් ගත් දරුවා එය ගණින්නට විය.
''රු.80ක් විතර තියෙනවා. ඒ ඇතිද?''
''ම්ම්ම්... මම එකෙක්ව දෙන්න නම් හිටියේ රු.100කට. කමක් නෑ, මම පුතාට නිසා එකෙක්ව දෙන්නම්කෝ''

ලැසී යැයි එක් වරක් ශබ්ද නඟා කතා කල ගොවියා සිවුරුහම් බෑමක් කල විට ගොවිපළ දෙසින් තම මව පිටු පසින් පුලුං බෝල සේ වේගයෙන් දිව එන පුංචි බලු පැටව් තිදෙනෙකු දැකගත හැකිවිය. ඔවුන් අසළට මව සහ බලු පැටව් තිදෙනා පැමිණිය පසු ගොවිපළ දෙසින් තවත් පුංචි බලු පැටවකු සෙමින් සෙමින් පැමිණෙන්නට විය.

''මාමේ, මට ඒ බලු පැටියව තමයි ඕන.''

''පුතේ, ඌ එච්චර සෙල්ලම් කරන්නේ නෑ. ලෙඩෙක් වගේ තමයි ඇවිදින්නේ. පුතාට ඌව අර ගත්ත කියල හිතේ හැටියට සෙල්ලම් කරන්නවත් බැරි වෙයි. වෙන එකෙක්ව ගෙනියන්න, උන් හොඳට දුවනව පනිනවා.''

මදක් පසෙකට වූ පුංචි දරුවා තම කලිසමේ කකුලක් සෙමෙන් සෙමෙන් උඩට නවන්නට විය. ඔහුගේ දකුණු කකුලට යකඩ ආවරණයක් දමා තිබුණි.
''ඔයාට පේනව නේද මාමේ, මටත් වේගයෙන් දුවන්න පනින්න බෑ. ඉතිං එයාටත් ඕන කරන්නේ මම වගේ කෙනෙක්, එයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්''

මේ ලෝකයම පිරී තියෙන්නේ තමන්ව තේරුම්ගන්න පුළුවන් අය සොයන මිනිස්සුන්ගෙන්. සෑම කෙනෙකුගේම යම්කිසි අඩු පාඩුවක් තියෙනවා, ඒත් තමන්ගේ ඒ අඩු පාඩුව තේරුම් අරගෙන එයම ශක්තියක් කරගෙන ක්‍රියා කරන කෙනෙකුට ජීවිතය ජයගන්න පහසුයි. කිසිම කෙනෙක් 100% පරිපූර්ණ නැති බව හැම විටම මතක තියාගෙන අඩු පාඩුවක් ඇති අය ගැනත් මැදිහත් සිතින් බලන්න පුරුදු වෙමු.