මනුෂ්‍යත්වය සොයා යමි

Sunday, May 5, 2013

රන්කිරි

 මේ පාරත් කම්බායක්ද දන්නෑ. දැන් ස්කෑන් කළාම කලින්ම බලාගන්නත් පුලුවන්ලු. අම්මා කිව්වේ දෙගිඩියාවෙනි. 'ඕවා කුසේ ඉන්න දරුවාට කොහොම බලපායිද දන්නෑනේ. ඒ නිසයි මම ඒ වැඩේට අකමැති වුනේ. කවරෙක් වුනත් අපිට ගැටලුවක් නෑනේ' 
 
එදා රැය පහන් වුනේ අම්මාගේ කෙඳිරිලි හඬත් සමඟයි. එවකට වින්නඹු මාතාව නමින් හැදින්වූ වැඩිහිටි කාන්තාවක් විසින් සුදු ඇදුමින් සැරසී සිනාමුසු මුහුණින් එහා මෙහා ඇවිදිමින් අමුත්තෙකු නිවසට එකතු කිරීමට සූදානම් වන අයුරු අපි දුටුවෙමු. මෙය අපට නුහුරු නුපුරුදු දසුනක් නොවේ. මාගෙන් පසු තව දියණිවරුන් තිදෙනෙකු බිහිකල අම්මා මා කැඳවා හිස සිඹ නංගිලා සමඟ පාසැල් යාමට ඉල්ලීමක් කලාය. මට නම් අද ඉස්කොලේ යන්න හිතෙන්නෑ අම්මේ. ඈ මා දෙස බලා මද සිනහවක් පෑවාය. ඇගේ මුහුණින් පිළිඹිබු වූයේ විඩාබර ගතියකි. වින්නඹු නැන්දා විශාල බේසමකට වතුර සූදානම් කරන හැටි අපූරුය. උදෑසනින්ම දිය නා දිගු කොණ්ඩය මෙතෙක් පිට දිගට මුදාහැර සිටි ඇය එය හිස පිටුපසට මුදුන් කොට තදට බැඳගත්තාය. 

 තාත්තා දිනපතාම පන්දර හතරට අවදි වේ. එදිනද අප පාසල් යාමට පෙර එළදෙනගෙන් දොවාගත් කිරි උණු කර බඳුන් වලට දමා බීමට පිළියෙල කර තිබුණි. අනතුරුව කඩිනමින් අල්මාරියේ සහ මේස ලාච්චු විවර කර විවෘනව තැබීය. දොර ජනෙල් සියල්ලද විවෘත කල අතර  මෙසේ සියල්ල ලිහිල් කොට තැබීමෙන් දරුවෙකු බිහි කරන්න යන අම්මාට පහසුවක් ගෙන දෙන බව ඔහුගේ අදහස විය. පාසැල් යාමට පිටත් වීමටත් පෙර අපට ඇසුනේ බිළිඳෙකුගේ හැඩුම් හඬය. ඔන්න, මේ පාරනම් සරමක්. වින්නඹු නැන්දා දොර පියන මදක් විවර කර අපට කීවාය. ඒ පණිවිඩයෙන් වඩා උද්දාමයට පත් වූයේ තාත්තාය. අප පාසැල් යාමට මැලි කරනු දුටු තාත්තා කමක්නෑ එහෙනම් යැයි අනුමැතිය ලබා දීම නිසා අපි තවත් උද්දාමයට පත්වීමු.

පැයකට පමණ පසු පිරිසිදු තුවායක එතුනු බිළිඳු හිරි එළියට අනාවරණය කොට කල්වේලා ඇතිව සකස් කරගත් යමක් පීරිසිය දමා තාත්තා වෙඳැඟිල්ලෙන් බිළිඳාගේ දිව ගෑවේය. එහි වූයේ සීනි සහ ගිතෙල්වලට ශුද්ධ රත්තරන් කුඩු බිඳක් මිශ්‍රකර  සෑදූ මිශ්‍රණයක් බවත් ඒ කළේ රන් කිරි කට ගෑම බවත් පසුව තාත්තා අපට විස්තර කර දුනි. 

තාත්තාගේ නිසල රූපකාය අබියස දෙනෙත් නොපියා බලා සිටි මට සිතුවම් පටක් සේ දිස්වුණු එම අතීත මතකය ඔස්සේ දෙනතින් වෑස්සුනු කඳුලැලි කියා පෑවේ ඔහුගේ පිය සෙනෙහස, මව් සෙනෙහස තරමටම උත්තරීතර වූ නිසාය. සම්පත් නම් ලද අපගේ ඒ එකම මලණුවන් පවුලේ බඩ පිස්සාද වූයේය.

මේ දරුවා අදවත් නාවොත් ආදාහනය තව දින දෙක තුනකටවත් කල් තියන්න වෙයි. අම්මා විස්සෝප වූවාය. සම්පත් වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වන්නට අදහස් කිරීම ගැන තාත්තා හිටියේ කනස්සල්ලෙනි. නිතර උඹලව දකින්න ඇත්නම් ඒක තමඉ දෙමව්පියන් හැටයට අපට තියෙන එකම සතුට. ඒත්... උඹලට මේක තේරෙන්නේ නැති හැටි

තාත්තා මල්ලිගෙන් ඇසුවේ ඉහළ අධ්‍යාපනය මේ රටේදීම සිදු කිරීම ප්‍රමාණවත් නොවන්නේද යන්නය. ඇමති තුමාගේ පුතත් එක්කලානේ තාත්තේ යන්නේ. මට ඒක ලොකු ශක්තියක්, නම්බුවක්. ඒ මල්ලිගේ අදහසය.

ඒ හඬ තාත්තා නිහඬ කරවීමට සමත් විය. අවසානයේදී ගමනට අවශ්‍ය වියදම් දැරීමට තාත්තා එකඟ විය. දැඩි ලෙස ගිලන්ව තාත්තා රෝහල් ගතකල විට තාත්තා අසනීප වී රෝහලේ. මල්ලීව බලන්න ආසයි කියනවා. යැයි මා මල්ලීට පණිවිඩයක් දුන්නත් විභාගය අතළඟ. මට තව සති ඩෙකකින්වත් එන්න වෙන්නෙ නෑ. යන පිළිතුරෙන් අපිට සෑහීමකට පත් වෙන්න සිදුවිය.

ලොකු දුව කෝ මල්ලී. මොකද තාම නැත්තේ. හෙට එයි තාත්තේ ළඟ පාතක ඉන්නවා නෙවෙයිනේ. එදා රාත්‍රියේ අසිහියට පත් වූ තාත්තා මිය යන තෙක්ම සිහි වි‍ය්‍යඥව සිටියේය. අභාවය දැන්වූවද මල්ලී තාමත් නැත. මා තුළ උපන්නේ මල්ලී පිළිඹඳ කලකිරීමකි. අම්මේ අර එන්නේ මල්ලී වෙන්නැති. වාහන දෙකකින් ආ විස්සක් තරම් වූ පිරිස අතර සුදුපැහැ ගත් තරුණියකගේ අත ගෙන මල්ලී පෙර ගමන් ගත්තේය. මෙම වූ පිරිස ඒ රටේ ඔහුගේ යාලුවෝ වූහ. මේ ගොල්ලෝට කෑම ලෑස්ති කරන්න එපා කියන්න. අපි නාලකගේ හෝටලේ කෑම ඕඩර් කරලයි ආවේ. ඒකෙම කාමර තුනකුත් වෙන් කලා. ඇයි පුතේ ඕනෑ නැති වියදම් දරන්නේ. අපට ඒවා කරගන්න තිබුනනේ.

එය නෑසුනාක් මෙන් ඉදිරියට ගිය මල්ලී තාත්තා දෙස බලාගත් වනම සිට දිග සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත්තේය. Wඑ මුස්ට් ගො නොව්. මඳ වෙලාවකට පසු කාන්තාව සම්පත්ගේ අතින් අදී. මේ මගේ වයිෆ්. අපි පදිංචි මෙයාලගේ ගෙදර. ගිය සතියේ තමයි මැරි කළේ. සම්පත් සියල්ල කතා කරන්නේ ඉතා සැහැල්ලුවෙනි. එතකොට විභාගේ තිබුනා යැයි කිව්වේ? ඒවා ගිය අවුරුද්දේම අවසන් වුනානේ. මට එහෙන් මොලීගේ තාත්තා රස්සාවකුත් අරගෙන දුන්නා. මල්ලි ඇයි ඔයා අපිට ඇත්ත නොකිව්වේ? ඔයාගේ වැඩ ඉවර වෙලා එනකල් මම කසාදයක් ගැන හිතුවෙත් නැහැ. ලොකු නංගි, මද්දුමයි දෙන්නම හිතුමතේට කසාද බැන්දා. ඒවාට මං මක් කරන්නද ලොකු අක්කේ ? ජිනදාස අයියා ඔයාව බඳින්න ආවා ගියා නේද? ප්‍රමාද වෙලා වැඩී කියලා එයා ඈත් වුණා. එයාට දැන් දුවෙකුත් ඉන්නවා. මෙතෙක් කතාව අවසන් කිරීම මැනවැයි අදහස් කළ මම ඉතිරි අවමංගල කටයුතු ගැන යොමුවිමි. කෙසේ වෙතත් යන්තම් මගේ සැනසිල්ලට හේතු වන්නේ රජයේ ගුරුවරියක වශයෙන් පත්වීමක් ලැබ සේවය කිරීමට ලැබීම පමණි.

මරණේ වියදම් කොහොමද මල්ලී මං තනියම දරන්නේ? මටත් නම් විදිහක් නෑ ගොඩක් වියදම් කරන්න. චාමෙට කරමු. අපි හෙට ආපහු යන්නත් ඕනෑ. ආපු යාලුවෝ එක්ක මොලී හග්ගල මල්වත්ත බලන්න යැව්වා. අද රෑ එයි.

එදා රංකිරි කට ගෑමෙන් දරුවාගේ මතක තබා ගැනීමේ ශක්තිය හා ශරීර ශක්තිය වර්ධනය වන බවත්, ආයුබල ගෙන දෙන අතරේ ප්‍රතිශක්තිය වැඩෙන බවත් තාත්තා විස්තර කළ අයුරු මගේ සිතිවිලි අතර සැරිසරන්න විය. සැබවින්ම තාත්තා දහසකුත් බලාපොරොත්තු තබාගෙන රන්කිරි කට ගෑවේ මේ සම්පත් පුතා නොවේදැයි සිතට නැඟුනු මා තාත්තාගේ නිසල දේහය දෙස යලිත් දෙනෙත් යොමු කලේ මේ විලම්භීත නොපෙනෙන සේ දෙනෙත් පියවිලි අකර්මණ්‍ය වීම තාත්තා ලද සම්පතක්යැයි සිතමිනි.



මොන දේ තිබුණත් මනුස්සකම නැත්නම් වැඩක් නෑ. ඔය කතා බහ අල්ලාදාපන් ලොකුදුව. එයා ඔහෙ ගියාවේ. අපි මේ කටයුතු තාත්තාට ගෞරවයක් වෙන විදිහට හොඳින් අවසන් කරන්න බලමු.

සිත දැඩි කරගත් අම්මාගේ මුවින් නික්මුණේ එම වදන් කීපය පමණි. ඇය එතැනින් නික්ම ගියේ නිවසට පැමිණෙන හිතවතුන් ඥාතීන් ආචාර කොට පිළිගැනීම පිණිසය.