මනුෂ්‍යත්වය සොයා යමි

Monday, April 2, 2012

මල් කළඹ

මැදි වියේ පසු වූ මිනිසෙකු මල් සාප්පුවක් අසල තම මෝටර් රථය නවත්වා මෝටර් රථයෙන් ඉවතට පැමිනියේය . ඔහුට අවශ්‍ය කර තිබුනේ අද දින තම හැත්තෑ වන උපන් දිනය සමරන මව වෙත මල් කළඹක් යැවීමටයි. ඇය වාසය කලේ ඔහු ජීවත් වූ නගරයට කිලෝමීටර 200ක් පමන දුරින් වූ කුඩා නගරයකය. 

මෝටර් රථයෙන් ඉවතට පැමින මල් සාප්පුව දෙසට යන ඔහු දුටුවේ මල් සාප්පුවෙන් පිටත බංකුවක් මත වාඩි වී හඩමින් සිටින කුඩා දැරියකි. කුතුහලයෙන් ඈ වෙත ගිය ඔහු ඇගෙන් හැඩීමට කාරනාව විමසා සිටියේය..
"අද අපේ අම්මගේ උපන් දිනේ... මට අම්මට දෙන්න රතු රෝස මලක් ගන්න ඕනේ,ඒත් මගේ ලග තියෙන්නේ ඩොලර් එකයි,රතු රෝස මලක් ඩොලර් දෙකයි" යැයි එයට පිලිතුරු ලෙස දැරිය දුක්බර හඩින් කියා සිටියාය.
මද සිනහවක් පෑ ඔහු මෙසේ කීවේය 

"එන්න දුව මාත් එක්ක... මම දුවට රතු රෝස මලක් අරන් දෙන්නම්"
ඔහු කුඩා දැරියට රතු රෝස මල් කළඹක් මිලදී දුන් අතර තම මව සදහා අවශ්‍ය මල් ඇනවුම් කර ඒවා යැවිය යුතු ලිපිනය මල් සාප්පුවට ලබා දුන්නේය.
ඔවුන් දෙදෙනා මල් සාප්පුවෙන් පිටතට පැමිනි අතර කුඩා දැරියව නිවසට ගොස් ඇරලවීමට ඔහු ඉදිරිපත් විය.
"හා අංකල් එහෙනම් මාව අම්මා ලගට එක්ක යන්න " යැයි පැවසූ කුඩා දැරිය ඔහුගේ ආරාධනාව ප්‍රීතියෙන් පිලිගත්තාය.
ඇය ඔහුට මග පෙන්වූ අතර අවසානයේ නගරයේ සොහොන් පිටිය අසල මෝටර් රථය නැවැත්වීමට පැවසූ ඈ අලුත වල දැමූ මිනී වලක් අසලට ගොස් රතු රෝස මල් කළඹ ඒ මතින් තැබුවාය.
කුඩා දැරිය නිවසට ගොස් ඇරලවූ මිනිසා යලිත් මල් සාප්පුවට පැමිනි අතර තමාගේ ඇනවුම අවලංගු කලේය.
මල් සාප්පුවේ වූ අලංකාරම මල් කළඹ මිලදී ගත් ඔහු කිලෝමීටර් 200ක් දුර වෙසෙන මවගේ නිවස වෙත පිටත් විය 

ජීවිතය කෙටියි ,ඔබට හැකි තරම් කාලයක් ඔබ ආදරය කරන පුද්ගලයන් සමග ගත කරන්න,ඔවුන් වෙනුවෙන් කැප වෙන්න. . ඔබ ප්‍රමාද වැඩි වීමට ප්‍රථමයෙන් ජීවිතයේ සෑම මොහොතක්ම ඔවුන් සමග රස විදින්න,ඔබේ පවුලට වඩා වටිනා කිසිවක් මෙලොව නොමැත.

කැබ් රථය

සර විස්සකට පමන පෙර මම ජීවිකාව සදහා කැබ් රථයක් ධාවනය කලෙමි. ඇත්තෙන්ම එය කටුක වුවත් සොදුරු රැකියාවකි,විශේෂයෙන්ම ස්වාමියෙක් යටතේ සේවක කිරීමට අකමැති ස්වාධීන අයෙකුට එය වඩාත් ගැලපුනි. එම කාලය තුල මට නොයෙකුත් ආකාරයේ මිනිසුන් සිය දහස් ගණනක් මුණගැසුනි. බොහෝ විට රාත්‍රී සේවය කරන විට මගේ කැබ් රියට ගොඩ වන බොහෝ මගීන් ඔවුන් ගේ ජීවිතය පිලිබදව නොයෙකුත් තොරතුරු මා සමග පැවසූ අතරඇතමෙක් තමා කල වැරදි මට පාපොච්චාරනය කලෝය. මට මුනගැසුනු සමහර පුද්ගලයන් ගේ ජීවිත කතා විටක මා විශ්මයට පත් කලේය,විටක මා ශෝකයට පත් කල අතර තවත් විටක ඒවා මගේ මුවගට නැංවූයේ සිනාවකි. 

නමුත් මගේ සේවා කාලය තුල මට මුනගැසුනු පුද්ගලයන් සිය දහසක් දෙනා අතුරින් තවමත් මගේ මතකයේ තදින්ම සටහන්ව ඇත්තේ එක් අගෝස්තු මාසයක රාත්‍රියේ මගේ කැබ් රථයට ගොඩ වූ එක් මහළු කාන්තාවක් පිලිබද වූ මතකයයි.
එදින මධ්‍යම රාත්‍රියේ මට නගරයේ ඈත කෙලවරේ වූ තට්ටු නිවාස සංකීර්ණයක් වෙත පැමිනෙන මෙන් ඇමතුමක් ලැබුනි. මීට පෙර ලබා තිබුනු අත්දැකීම් අනූව මා අනුමාන කලේ සාදයක් නිම වී නිවෙස් බලා පිට වීමට අවශ්‍ය තරුණයන් කණ්ඩායමක් හෝ තම සහකරු සමග දඹර කර ගත් පෙම්වතියක් කැබ් රිය ඇනවුම් කිරීමට ඇති බවකි. 

පාන්දර 3 පමන වන විට මා නියමිත ස්ථානයට ලගා වූයෙමි. මුලු ගොඩනැගිල්ලම අදුරේ ගිලී තිබූ නමුත් බිම් මහලේ වූ එක් කාමරයක ජනේලය තුලින් ආලෝකයක් විහිදුනි.මෙවනි අවස්ථාව වල බොහෝ කැබ් රථ රියදුරන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය නම් දෙතුන් වරක් නලාව ශබ්ද කර ප්‍රතිචාරයක් නොමැති නම් නැවතත් පිට වීමයි. නමුත් මා කිසිවිටකත් එසේ ක්‍රියා නොකලේ තමන්ගේම කියා මෝටර් රථයක් නොමැති පුද්ගලයන්ට ඕනෑම හදිසි අවස්ථාවක ඇති එකම විසදුම වන්නේ කැබ් රථ පමනක්ම වන බැවිනි.අනතුරක සේයාවක් නොමැති සෑම අවස්ථාවකම මා අදාල නිවස වෙත යන අතර සෑම විටකම සිතුවේ "මේ මගියාට මගේ සහාය අවශ්‍ය වනු ඇත" කියාය. 

එදිනද සුපුරුදු ලෙස අදාල කාමරය අසලට ගිය මා එහි දොර සීනුව වරක් නාද කලේය. "මට තව මිනිත්තුවක් දෙන්න" දුර්වල වැඩිහිටි කාන්තාවකගේ ශබ්දයක් මට නිවස තුලින් ඇසුනි.
යමක් පොලව දිගේ ඇදගෙන එන ශබ්දයක් මට ඇසුනු අතර දිගු නිහැඩියාවකින් පසු ඉදිරි දොර විවෘත විය.නිවස තුලින් පිටතට පැමිනියේ අසූ වියැති පමන කුඩා මහළු කාන්තාවකි.ඇය වර්ණවත් ඇදුමකින් සැරසී හිස් වැස්මක්ද පැලද සිටි අතර මට ඇය පෙනුනේ 1940 දශකයේ සිනමා පටයක වූ චරිතයක් ලෙසිනි. ඇය පසෙකින් මදක් විශාල සූට්කේසයක් විය.එම නිවසේ වසර ගණනාවකින් කිසිවෙකුත් වාසය කල බවක් නොපෙනුනි.නිවසේ සියළු ගෘහ භාණ්ඩ ආවරණය කර තිබූ අතර බිත්ති මත ඔරලෝසු හෝ වෙනත් සැරසිලි කිසිවක් නොවීය.සාලයේ පසෙක් වූ කාඩ්බෝඩ් පෙට්ටියක රාමු කල ඡායාරූප විශාල ප්‍රමානයක් අසුරා තිබුනි. 

"මගේ සූට්කේස් එක කැබ් එකට ගෙනියන්න පුලුවනිද පුතාට" මහළු කාන්තාව ඇසුවේය
මා සූට්කේසය රැගෙන කැබ් රියේ තැන්පත් කල අතර නැවත පැමිනියේ මහළු කාන්තාවට කැබ් රිය දක්වා පැමිනීමට උපකාර කිරීමටයි.ඇය මගේ අතින් අල්වා ගත් අතර අප දෙදෙනා ඉතා සෙමින් කැබ් රිය දක්වා පැමිනියෙමු.ඇය දිගින් දිගින් දිගටම මගේ කරුණාවන්තකම පිලිබදව ප්‍රසංශා කලාය.
"ඒක සුළු දෙයක් මැඩම්" "මම හැම වෙලාවටම මගේ මහළු මගියොන්ට සලකන්නේ මගේ අම්මට වගේ" මම පැවසූවෙමි. 

"ඔයා ගොඩක් හොද පුතෙක්" ඇය පිලිතුරු දුන්නාය
කැබ් රියට ගොඩ වූ පසු ඈ මට ලිපිනයක් සහිත කොළ කැබැල්ලක් ලබා දුන් අතර මගෙන් මෙසේ විමසුවාය. "පුතේ අපි පරණ ටවුන් එක පැත්තෙන් යමුද"
"ඒ පැත්තෙන් දුරයිනේ මැඩම්" මම දෙවරක් නොසිතා පිලිතුරු දුන්නෙමි
"ඒකට කමක් නෑ පුතේ...මට හදිස්සියක් නෑ" ඇය පැවසුවාය
මා පිටුපස බලන කණ්ණාඩියෙන් ඇය දෙස බැලූවෙමි. මා දුටුවේ ඇයගේ දෑස් දිදුලන ආකාරයයි,ඒවා කදුලු පටලයකින් වැසී තිබුනි.
"මට මගේ කියලා කවුරුත් ඉතිරි වෙලා නෑ,දොස්තර කිව්වා මට තව වැඩි කාලයක් නෑ කියලා"
මම ඇයට නොදැනෙන ලෙස කැබ් රියේ මීටරය විසන්ධි කලෙමි.
"මැඩම්ට යන්න ඕනේ කොයි පැත්තෙන් ද කියලා මට කියන්න " පැවසූ මම ගමන ආරම්භ කලෙමි.
ඊළග පැය දෙකක කාලය තුල අපි නගරය පුරා සංචාරය කලෙමු.ලිපිකාරිනියක වශයෙන් ඇය තම පලමු රැකියාව කල ගොඩනැගිල්ල ඇය මට පෙන්වූවාය.නගරයේ පැරණි කොටස හරහා මා කැබ් රිය ධාවනය කල අතර විවාහ වූ අළුත සැමියා සමග වාසය කල පැරණි නිවස අසල රථය මද වේලාවකට නැවැත්වූවේ ඇගේ ඉල්ලීම පරිදිය.මද දුරක් ගිය පසු ඇගේ ඉල්ලීම පරිදි යලිත් කැබ් රිය නතර කලේ ගෘහ භාණ්ඩ වෙලද සැලක් අසලිනි. කලකට ඉහත එය නෘත්‍ය ශාලාවක්ව තිබී ඇති අතර මහලු කාන්තාව නව යොවුන් තරුණියක සමයේ මිතුරියන් සමග එහි පැමින ඇත්තේ නර්තන පුහුණුව සදහායි.සමහර විටක පැරණි ගොඩනැගිල්ලක් අසල කැබ් රිය නවතන ලෙස මගෙන් ඉල්ලා සිටි ඇය කිසිවක් නොකියා ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියාය.
නව දිනයක ප්‍රථම හිරු රැස් පොලව මත පතිත වන මොහොතේ හදිසියේ මා දෙස බැළු ඇය "දැන් ඇති පුතේ අපි යමු මට දැන් ගොඩක් මහන්සි" යැයි පැවසුවාය . 

මා නිහඩව ඇය ලබා දුන් ලිපිනය වෙත රථය ධාවනය කල අතර එය නගරයෙන් මදක් දුරින් වූ මහළු නිවාසයක් වූවේය.මා කැබ් රිය එහි පෝටිකෝවේ නතර කල විගස රථය වෙත පැමිනියේ මහළු නිවාසයේ සේවකයන් යැයි සිතිය හැකි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් ප්‍රවේශමෙන් ඇයව මහළු නිවාසය තුලට රැගෙන ගියෝය.
රථයෙන් බැස ගත් මා ඇයගේ සූට්කේසය රැගෙන මහළු නිවාසය තුලට ගිය අතර මේ වන විට ඇය හාන්සි පුටුවක වාඩි වී සිටියාය.
"මම පුතාට කොච්චර දෙන්න ඕනෙද " තම පසුම්බිය විවෘත කරමින් ඇය මගෙන් විමසුවාය.
"කීයක්වත් නෑ මැඩම්" මම පැවසුවෙමි
"ඒත්... මේක පුතාගේ රස්සාවනේ?" මා දෙස විශ්මයෙන් බැළු ඇය මගෙන් විමසුවාය.
"මම අනිත් මගීන් ගෙන් සල්ලි ගන්නවනේ මැඩම්" යැයි මා පැවසූ විට අපහසුවෙන් ආසනයෙන් නැගී සිටි ඈ මා බදා ගත් අතර
"අද පුතා මහළු ගෑණියෙක්ට සතුටු වෙන්න පුංචි අවස්ථාවක් ලබා දුන්නා...මට මතක ඇති කාලෙකින් මම ගොඩක්ම සතුටු වුනේ අදයි...පුතාට ගොඩක් ස්තූතියි" යැයි පැවසුවාය. .මගේ දෑස් කදුලින් තෙත් වූ අතර මම ඇයට සමු දී යලි පිටත් වීමි.
එදින යලිත් කිසිදු මගියෙකු කැබ් රියට නංවා නොගත් අතර මම පැය ගණනාවක් අරමුණකින් තොරව රථය ධාවනය කලෙමි.
තම සේවා මුරය අවසන් කිරීමට බලා සිටින ක්‍ෂණිකව කෝපයට පත් වන රියැදුරෙක් ඇය වෙනුවෙන් පැමිනියා නම් කුමක් සිදු වන්නේද? මා වරක් නලාව නාද කර ඇය නොපැමිනි නිසා යලිත් පැමිනියා නම් කුමක් සිදු වන්නේද? ඇය ඉල්ලා සිටි පරිදි ඇයට අවශ්‍ය ස්ථාන වල රථය නොනවත්වා පැමිනියා නම් කුමක් සිදු වන්නේද? 

පුද්ගලයන්ට ඔබ ඔවුන් වෙනුවෙන් කල දෑ අමතක වනු ඇත,ඔබ ඔවුන්ට පැවසූ දෑ අමතක වනු ඇත නමුත් ඔබ ඔවුන් ගේ සිතේ ඇති කල හැගීම ඔවුන්ට කිසි දිනක අමතක නොවනු ඇත..

අයියා

පෝල් යනු මගේ ලගම මිතුරෙකි. ඔහුගේ පසුගිය උපන් දිනයට ව්‍යාපාරිකයෙකු වූ ඔහුගේ වැඩිමහල් සහෝදරයාගෙන් ඔහුට ලැබුනේ අපූරු ත්‍යාගයකි,ඒ අළුත්ම පන්නයේ මෝටර් රථයකි. පසුගිය සතියේ කාර්යාලයේ වැඩ අවසන් කර නිවසට යාමට මෝටර් රථය අසලට ගිය ඔහු දුටුවේ කුඩා පිරිමි දරුවෙකු මෝටර් රථය වටා කැරකෙමින් එය ආශාවෙන් නරඹන ආකාරයයි.
 පෝල් ඔහු අසලට ගියේය.

 "මේ කාර් එක මහත්තයාගෙද?" කුඩා පිරිමි දරුවා පෝල්ගෙන් ඇසුවේය. හිස වැනූ පෝල් "ඔව් මගේ අයියා මගේ උපන් දිනේට අරන් දුන්නේ මේක " පිලිතුරු දුන්නේය.

 පිරිමි දරුවා විශ්මයට පත් විය. "ඒ කියන්නේ මේ කාර් එක මහත්තයගේ අයියාද මහත්තයාට දුන්නේ? මහත්තයට කීයක්වත් වියදම් වුනේ නැද්ද?" යැයි ඇසූ පිරිමි දරුවා අවසානයේ "අනේ මටත්..."යැයි යමක් පැවසීමට උත්සාහ ගත් නමුත් අවසානයේ එය නොපවසා නිහඩ විය. 

 ඔහු පැවසීමට උත්සාහ ගත්තේ කුමක්ද යන්න පෝල් දැන සිටියේය. ඔහු පැවසීමට ගියේ "අනේ මටත් ඒ වගේ අයියා කෙනෙක් හිටියා නම්"යැයි බවට සැකයක් නොවීය.පිරිමි දරුවා ඊළග නිමේශයේදී යලිත් කථා කලේය.ඔහු පැවසූ දෙයින් පෝල් විශ්මයට පත් විය.. ඔහු පැවසුවේ

 "අනේ මටත් ඒ වගේ අයියා කෙනෙක් වෙන්න පුලුවනි නම්" යන්නයි. කුඩා දරුවා දෙස හොදින් බැලූ පෝල් ඔහුට ආරාධනාවක් කලේය.
 "පුතා කැමතිද කාර් එකේ නැගලා රවුමක් යන්න?"
 "ඔවු මහත්තයා මම ගොඩක් කැමතී" පිරිමි දරුවා පිලිතුරු දුන්නේය

 පෝල් කුඩා දරුවා සමග මද වේලාවක් මෝටර් රථය ධාවනය කලේය,ජීවිතයේ පලමු වරට මෝටර් රථයක් තුල ගමන් කල දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගොස් තිබුනි.අවසානයේ ඔහු කතා කලේය. 

"අනේ මහත්තයා අපි අපේ ගෙදර ඉස්සරහින් යමුද?" පෝල් මදක් සිනා සුනි . පිරිමි දරුවාට අවශ්‍ය කුමක්දැයි ඔහුට වැටහුනි.ඔහුට අවශ්‍ය තම අසල්වාසීන්ට තමන් නවීන පන්නයේ මෝටර් රථයක නිවසට පැමිනි බව පෙන්වීම බව පෝල් සිතා ගත්තේය. 

නමුත් පෝල් මෙවරත් සිතූ දේ නිවැරදි නොවීය. දිලිදු නිවසක් අසල මෝටර් රථය නවතන ලෙස ඉල්ලා සිටි පිරිමි දරුවා නිවස තුලට දුව ගියේය .මද වේලාවකින් ඔහු යලි පැමිනෙන හඩ ඇසුන නමුත් මෙවර ඔහු පැමිනියේ බොහෝ සෙමිනි.අවසානයේ ඔහු නිවසින් පිටතට පැමිනියේය. ඔහු පැමිනියේ තනිවම නොවේ තම ආබාධිත බාල සොහොයුරාද ඔසවාගෙනය. බාල සොයුරාව නිවස ඉදිරියේ වූ අසුනම වාඩි කර වූ හෙතෙම මෝටර් රථය අසලට පැමින සොයුරාව ඇමතුවේය 

 "මේ තියෙන්නේ මල්ලී මම කිව්ව කාර් එක. මේ කාර් එක මේ මහත්තයට මේ මහත්තයාගේ අයියා තෑගි දීලා තියෙන්නේ. කවදාහරි ලොකු වෙලා මමත් මගේ මල්ලීට මේ වගේම කාර් එකක් තෑගි කරනවා.එතකොට අපි දෙන්නට පුලුවන් අම්මයි තාත්තයි එක්ක කාර් එකේ නෑගලා යන්න " පිරිමි දරුවාගේ කුඩා සොයුරා සතුටින් අත්පොලසන් දෙන්නට වූ අතර පෝල් තම දෙනෙතට නැගුනු කදුලු බිදු දරුවන්ගෙන් සැගවීමට වෙහෙස දැරුවේය

ජීවිතයේ ඇතිවන බැදීම් කෙතරම් චමත්කාරද

දුරකතනය අප රටට හදුන්වා දුන් මුල් සමයයි.මා පලමු වරට එම ආගන්තුක උපකරණය අපේ ඥාතියෙකුගේ නිවසේදී දුටු අතර මාස කිහිපයක ඇවෑමෙන් එය අපේ නිවසටත් පැමිනුනා. විසිත්ත කාමරයේ මේසය මැද කලු පැහැයෙන් දිදුලමින් පැවති ඒ අපූරු උපකරණය දෙස මා බැලුවේ වශීකෘත වෙලා. ඒ වන තෙක් ආගන්තුක උපකරණයක් වෙලා තිබුනු දුරකතනය පිලිබදව දැනගත යුතු සියලුම දේවල් එදා රාත්‍රියේදී මගේ අම්මා මට කියලා දුන්නා. 

"පුතා නොදන්න ඕනෙම දෙයක් දුරකතනයෙන් දැනගන්න පුලුවන්කම තියනවා,පුතාට තියෙන්නේ මේ තරු සලකුන ඔබලා තොරතුරු සේවයට කතා කරන එක" 

තොරතුරු සේවය,ඒක අරුම පුදුම දෙයක් කියලා මට සිතුනු වාර අපමනයි. අම්මා තොරතුරු සේවයට අමතලා තමන් නොදන්න දේවල් ගොඩක් දැන ගන්න ආකාරය ඊලග දින කිහිපයේදි මම දුටුවා.
සති කිහිපයක් ගත වුනා. එදින නිවසේ කිසිවෙකුත් සිටියේ නෑ. මම සුපුරුදු පරිදි බිම් මහලේ වූ මගේ පියාගේ ගරාජයේ ආයුධ පෙට්ටිය රැගෙන තනිවම සෙල්ලම් කිරීමට පටන් ගත්තා.ගත වුනේ සුළු මොහොතයි, අඩුවකට හසු වූ මගේ වමතේ සුලැගිල්ල තුවාල උනා. 

දැනුනු වේදනාවට දෑසින් කදුළු වැටුනු නමුත් නිවසේ කිසිවෙකුත් නොමැති නිසා හැඩීමෙන් පලක් නොමැති බව ඊළග මොහොතේ මගේ ළමා මනසට වැටහුනා.පිහිටක් පතා වටපිට බැලූ මම දුරකතනය දුටු අතර ක්‍ෂනිකව මගේ මනසට පැමිනියේ "තොරතුරු සේවයයි". දුරකතනය වෙත ලගා වූ මා තරු සලකුන එබුවා.
"තොරතුරු සේවය" අනෙක් පසින් ආදරණීය කට හඩක් ඇසුනා. 

"මගේ ඇගිල්ල තුවාල උනා..." මම ඉකිබිදිමින් පැවසුවා.
මද වේලාවක් යනතුරු අනෙක් පසින් හඩක් පැමිනියේ නෑ.දරා ගත නොහැකි වේදනාවෙන් මගේ සිත හඩා වැටුනු අතර දෙනෙතින් කදුලු වැගිරුනා.
"මගේ ඇගිල්ල තුවාල උනා..." මම යලිත් පැවසුවා.
මද වේලාවකින් අනෙක් පසින් ශබ්දයක් ඇසුනා,ඒ පෙර කතා කල ආදරණීය කටහඩමයි "ඔයාගේ අම්මයි තාත්තයි ගෙදර නැද්ද පැටියෝ?"
"අම්මයි තාත්තයි ලොකු අම්මලගේ ගෙදර ගියා...මම විතරයි ගෙදර ඉන්නේ" ඉකිබිදින අතර මම පැවසුවා.
"හා...ඔයාගේ අතින් ලේ එනවද බබෝ?" ඇය ආදරෙන් ඇසුවා.
"ඔවු...මට ගොඩක් රිදෙනවා"
"පැටියෝ කලබල වෙන්න එපා,ඔයාලගේ ගෙදර ශීතකරනයක් තියනවද?"
"ඔව්"
"එහෙනම් ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියා ගන්න,එතකොට ලේ ගලන එක නතර වෙයි,බය වෙන්න එපා පැටියෝ එතකොට ඔක්කොම හරි යාවි" ඇය ඉතා ඉවසිලිමත් ලෙසත් ආදරණීය ලෙසත් මට පැහැදිලි කර දුන්නා.
එදා පටන් මගේ සියලුම ප්‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයට.
"ෆිලඩෙල්ෆියාව තියෙන්නේ කොහේද?"
"ඇයි කුරුල්ලෝ පලතුරු විතරක් කන්නේ?"
"අපිට පියාඹන්න බැරි ඇයි?"
"මට මගේ පුංචි බලු පැටියා එක්ක කතා කරන්න බැරිද?"
ආදී මගේ සිතට නැගෙන දහසකුත් එකක් වූ ප්‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයේ මගේ ආදරණීය මිතුරියට. ඒ සෑම පැනයකටම ඉතා ඉවසිලිවන්තවත් ආදරණීයවත් ඇගේ සුමිහිරි කට හඩින් ඇය මට පිලිතුරු ලබා දුන්නා. 

දිනක් අපේ නිවසේ සුරතලයට ඇති කල කැනරි කුරුල්ලා මිය ගියා. මම කතා කලේ තොරතුරු සේවයේ මගේ මිතුරියටයි.මගේ පැනය අසා සිටි ඇය කැනරි කුරුල්ලා මිය ගොස් ඇති බව මට වටහා දුන්නා.
"ඉතින් එයා කොහොමද ආයෙත් සින්දු කියන්නේ? එයාට ආයේ ඉගිල්ලෙන්ත් බැරිද?" මම ඇගෙන් ඇසුවේ ශෝකයෙන්. 

මගේ පැනය සාවධානව අසා සිටි ඇයට මගේ සිතේ වූ ගැඹුරු ශෝකය දැනෙන්න ඇති. "පෝල්...මතක තියා ගන්න...අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් තියනවා...දැන් ඔයාගේ කැනරි කුරුල්ලා ඉන්නේ ඒ ලෝකෙක ...එයා ඒ ලෝකෙට වෙලා ආයෙමත් ලස්සනට සින්දු කියාවි"
තවත් දවසක මම තොරතුරු සේවයට ඇමතුමක් ලබා ගත්තා "ෆික්ස් කියන වචනේ අකුරු මොනවද කියන්නකෝ" 

මගේ අධ්‍යාපනය ගැන ඉහල බලාපොරොත්තු තබා සිටි මගේ දෙමව්පියන් මාව නගරයේ පාසලකට ඇතුල් කලා,අප නගරයේ පදිංචියට පැමිනියා,මට මගේ මිතුරියව අහිමි උනා.
වසරින් වසර ගෙවී ගියා මගේ අධ්‍යාපන කටයුතු අවසන් වූ අතර අප නැවතත් අපේ පැරණි නිවසට පැමිනියා.එවිට මම නව යොවුන් වියේ වූ තරුණයෙකු වූ නමුත් මගේ පැරණි මිතුරිය පිලිබද වූ මතකය මගේ සිතින් ඈත් වුනේ නෑ.ඇය තුල වූ ආදරය කරුණාව ඉවසීම සහ තේරුම් ගැනීමේ හැකියාව තවමත් මා විශ්මයට පත් කලා. 

අප නිවසට අලුත් දුරකතනයක් මිලදී ගත් අතර මම පලමු ඇමතුම ගත්තේ මගේ ළමා කාලයේ සුපුරුදු අංකයටයි. 

"තොරතුරු සේවය " වියපත් වූ නමුත් ආදරණීය සුපුරුදු කටහඩක් මට ඇසුනා.මම විශ්මයට පත් වුනා,ඇය තවමත් සේවය කරනවා.මගේ ගොරෝසු පිරිමි කටහඩ අවදි වුනා,
"මගේ ඇගිල්ල තුවාල උනා..."
ඇය බොහෝ වේලාවක් යන තුරු කතා කලේ නෑ,නමුත් ඇය දුරකතනයේ රැදී සිටින බව මම දැන සිටියා.අවසානයේ ඇය කතා කලා,
"ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියාගත්තොත් ලේ ගලන එක නැවතෙයි පෝල්"

මම මහ හඩින් සිනා සුනා.
"ඕහ් දෙවියනේ... මම හිතුවා ඔයාට දැන් අමතකයි කියලා"
"මට ගොඩක් පුදුමයි පෝල්" ඇය සෙමින් පිලිතුරු දුන්නා.
අප දෙදෙනා බොහෝ වේලාවක් කතා කලා. ටික දිනකට මම සොයුරිය හමු වීමට වෙනත් නගරයකට යන බව පැවසූ මම යලිත් ආ විගස ඇයට අමතන්නට පොරොන්දු වුනා.
"නොවරදවාම කතා කරන්න පෝල්...මගේ නම සැලී" ඇය පැවසුවා.
සොයුරියගේ නිවසේ මාස තුනක් පමන මා ගත කල අතර නැවත පැමිනි විගස මා ඇමතුවේ තොරතුරු සේවයටයි. 

"තොරතුරු සේවය " අනෙක් පසින් ඇසුනේ නුපුරුදු තරුණ කට හඩක්.
"මට සැලීට කතා කරන්න පුලුවන් ද?" මම විමසුවා.
"ඔබ ඇයව දන්නවද?" ඒ කට හඩින් පැනයක්.
"ඔව් ඇය මගේ යෙහෙලියක්...ගොඩක් පරණ යෙහෙලියක්" මම පිලිතුරු දුන්නා.
"මට ගොඩක් කණගාටුයි මේ දේ ඔබට පැවසීමට සිදුවීම ගැන... ඇය සති දෙකකට පෙර මිය ගියා"
මගේ සිත ශෝකයෙන් පිරී ගියා,උගුරේ යමක් සිර වූ ආකාරයක් දැනුනු අතර මගේ මුවින් කිසිම ශබ්දයක් පිට වුනේ නෑ.මම රිසීවරය යලි තැබීමට පෙර ඇය යලි කතා කලා
"මහත්මයා ඔබේ නම පෝල්ද?" "ඔව්" මම සෙමින් පැවසුවා.
"ඇය අසනීප වී සිටි සමයේ ඇය ඔබට ලබා දෙන්න ලිපියක් මට ලබා දුන්නා,මට ඔබේ නිවසේ ලිපිනය කියනවද,මම එය තැපැල් කරන්නම්"
නිවසේ ලිපිනය ලබා දුන් මා රිසීවරය තැබූ අතර දිගින් දිගටම මගේ සිහියට නැගුනේ ළමා කාලයේ මගේ අනේක විධ පැන වලට පිලිතුරු ලබා දුන් ඇගේ කරුණාබර ආදරණීය කට හඩයි.
දින කිහිපයක් ගත වූ අතර දිනක් මගේ නමට ලිපියක් පැමිනියා,ඒ මගේ මිතුරිය සැලී මිය යාමට ප්‍රථමයෙන් මට ලියූ ලිපියයි. එහි මෙසේ සටහන් වුනා 

"පෝල්...ඔබ යලි පැමිනීමට පෙර මා මිය යාවි යැයි ඇති සැකය නිසයි මම මේ ලිපිය ලියන්නේ. වසර ගණනාවකට පසු ඔබෙන් ලැබුනු ඇමතුමෙන් මම ගොඩක් පුදුම වුනා,ඊටත් වඩා ගොඩාක් සතුටු වුනා. පෝල් ඔබ දන්නේ නෑ ඔබෙන් ලැබුනු ඇමතුම් වලින් දරුවන් නොමැති මම කොතරම් සතුටට පත් වුනාද කියලා,ඔබ මගේ පාලු ජීවිතයට ආශිර්වාදයක් වුනා පෝල්.කෙසේ නමුත් දැන් අපිට සමුගැනීමට කාලය ඇවිල්ලා.මතකයි නේද, අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් පවතිනවා,මම ඒ ලෝකෙකට ගිහින් ඔයාගේ කැනරි කුරුල්ලා කියන ලස්සන සිංදු අහගෙන ඉන්නම්.ඔයාට නැවතත් ස්තූතියි. ඔබේ මිතුරිය සැලී.
ජීවිතයේ විවිධ අවස්ථා වල විවිධ අයුරින් විවිධ පුද්ගලයන් සමග ඇති වන බැදීම් කෙතරම් චමත්කාරදැයි සිතෙන්නේ බොහෝ කල් ගෙවී ගිය පසුවයි. පරක් තෙරක් නොපෙනෙන ජීවන ගමන තුලදී අප ඇති කර ගන්නා බැදීම් කෙතරම් අපූරුද?

දියණිය

ති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.
මොහොතකින් බලනවිට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල එහා මෙහා කළාය. ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්නා සේ මට පෙනේ. 

ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි. වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි මට දැනේ.
අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..? දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි..?

"අපි යමු රත්තරං පැටියෝ.."

ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස වසාගන්නට තැත් කරන අසරණ තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද..? 

"තාත්තේ"
"ඇයි පැටියෝ?"
"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"
මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?

"මොනවද රත්තරං පැටියො..?"
"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක් සේ පිපී ඇත.

මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි. අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම් ගෙන ඇතිද..?
උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.

"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්" කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.

කුඩා දරුවකුගේ රචනාවක්

ප්‍රාථමික පන්තියක උගන්වන ගුරුවරියක් කුඩා දරුවන්ට රචනාවක් ලිවීමට අණ කළාය. එහි මාතෘකාව වූයේ “ඔබට දෙවියන්ගෙන් වරයක් ලැබුණොත් ? ” යනුවෙනි. ගුරුවරිය රචනා ටික එකතු කරගෙන ගෙදර ගියාය. එයින් එකක් කියවද්දී ඇයට ඉබේම ඇඬිණි. එවිටම වාගේ ඇයගේ ස්වාමි පුරුෂයා නිවසට පැමිණියේය.
 “ඇයි ඔයා මේ අඬන්නෙ ? ඔහු විමසීය. 
ඇය තමා දුන් රචනාව ගැන ඔහුට විස්තර කළාය. “මේ බලන්න මේ රචනාව දිහා” ඇය ඔහුට කොළයක් දුන්නාය.
 “අනේ දෙවියනේ. පුළුවන් නම් මාව අපේ ගෙදර තියෙන ටීවී එක බවට පත් කරන්න. හැමෝගේම අවධානය තියෙන්නෙ ටීවී එකටයි. අපේ තාත්ත කොච්චර මහන්සි එලා ගෙදර ආවත් වාඩි වෙන්නෙ ටීවී එක ළඟයි. මං ළං වෙනකොට එයාට කේන්ති ගියාට ටීවී එකට නම් හිනාවෙනවා. අපේ අම්මට කොච්චර අසනීප වුණත් ටීවී එක එපා වෙන්නෙ නෑ. ඒත් අසනීප වුණහම මාව නම් එපා වෙනවා. ටීවී එකට පුංචි හරි ලෙඩක් හැදුනහම අම්මයි තාත්තයි හරියට කලබල වෙනවා. ඒත් සමහර වෙලාවට මං මගෙ අමාරුවක් කිව්වට ගණන් ගන්නෙම නැහැ. අනේ දෙවියනේ මට ලැබෙන වරය හැටියට මාව ටීවී එකක් කරන්න. මේක තමයි මගේ පුංචි ම පුංචි ඉල්ලීම.” 

“මොන වාගෙ නැහැදිච්ච දෙමව්පියො ද මේ ?” මේ රචනාව කියවූ සැමියා විමසීය. “අපේ පුතයි මේ රචනාව ලියල තියෙන්නෙ ” ගුරුවරිය අඬමින් පිළිතුරු දුන්නාය.

මට සමාවෙන්න අම්මේ....!!!!


"ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
 මදි මට මුළු සංසාර යුගේ......
ඔබව බලා ගන්නට අම්මේ....."

ගේ අම්මට තිබුණේ එක ඇහැක් විතරයි.පවුලෙ වියදම් ගැටගහගන්න අමාරු හින්දා අම්මා අපේ ඉස්කෝලෙ ළමයින්ටයි,ගුරුවරුන්ටයි කෑම හදලා විකුණුවා. මං පොඩි කාලෙ එක දවසක් අම්මා ඉස්කෝලෙට ඇවිත් මට කතාකළා.මං ලොකු අපහසුතාවයකට පත් වූණා.ඇයි අම්මා මෙහෙම දෙයක් කළේ? මං අම්මාව ගණන් ගන්නෙ නැතුවම එයාට ඔරවලා බලලා,හයියෙන් දිව්වා...

 ඊළඟ දවසේ ඉස්කෝලෙ ගියාම පන්තියෙ ළමයෙක් මට හිනාවුණා, "ඊ..... ඔයාගෙ අම්මට තියෙන්නෙ එක ඇහැයි නේද?" කියලා..... මං ඒ යාලුවාගෙන් ඇත්ත හැංගුවා.මට ඕනි වුණේ ඉක්මනටම අම්මා නැති වෙනවා දකින්න.මං එදා අම්මාට කිව්වා, "ඇයි ඔයා මැරිලාවත් යන්නෙ නැත්තෙ" කියලා

 අම්මා මුකුත්ම කිව්වෙ නෑ...... දෙපාරක් නොහිතම මං අම්මාට ඒ ගැන කිව්වෙ, පුදුමාකාර කේන්තියකින්. මට එයාගෙ හැඟීම් වලින් වැඩක් නෑ... මට ඕනි වුණේ ඉක්මනින්ම ගෙදරින් පිට වෙන්න,එයා ළඟ මොහොතක්වත් ඉන්නෙ නැතුවම... ඒ හින්දම මං මහන්සි වෙලා ඉගෙනගෙන පිටරටකට ගියා.ඊට පස්සෙ මං කසාද බැන්දා. මගේම කියලා ගෙදරක පදිංචියට ගියා. මං තාත්තා කෙනෙක් වුණා.මං මගේ පවුලත් එක්ක බොහෝම සතුටින් ජීවත් වුණේ....

 එක දවසක් නොහිතපු වෙලාවක අම්මා මගේ ගෙදරට ආවා.අවුරුදු ගානකින් අම්මා මාවවත්,මගෙ දරුවන්වවත් දැකලා තිබුණෙ නෑ. එයාව දැකලා මගෙ දරුවො මහ හයියෙන් කෑ ගැහුවා... මං එයාට බැන්නා, "ඔයාට කොහෙන්ද අයිතියක් ආවෙ මගේ ගෙදරට ඇවිත් මගේ දරුවො බය කරන්න? දැන්මම මගේ ගෙදරින් පිට වෙන්න" කියලා ඒ ගමන අම්මා කිව්වා,

"ආහ්...මට සමාවෙන්න.මං හිතන්නෙ මට ලිපිනය වැරදිලා"කියලා එහෙම කියලා අම්මා ගෙදරින් පිට වුණා... ඔය අතරෙ එක දවසක මගේ නමට ලියුමක් ලැබුණා ඉස්කෝලෙ සුහද හමුවක් තියෙනවා කියලා.ඒකට යන්න ඕනි හින්දාම,මං වයිෆ්ට බොරුවක් කිව්වා මට බිස්නස් ට්‍රිප් එකක් යන්න තියෙනවා කියලා.ඊට පස්සෙ මං පරණ ඉස්කෝලෙට ගියා.සුහද හමුව ඉවර වුණාට පස්සෙ මං පුංචි කාලෙ හිටපු ගෙදරටත් ගියා.එතකොට තමයි දැනගත්තෙ අම්මා නැති වෙලා කියලා..... ඒත් මම එක කඳුළු බිංදුවක්වත් හෙලුවෙ නෑ අම්මා වෙනුවෙන්.

 අහළ පහළ අය අම්මා මට දෙන්න කියලා දීපු ලියුමක් මගෙ අතට දුන්නා..... මේ තියෙන්නෙ ඒ ලියුම.....

 දයාබර පුතේ,
                 මං ඔයා ගැන හැම මොහොතකම හිතුවා.මට සමාවෙන්න ඔයාගෙ ගෙදරට ඇවිත් දරුවො බය කරන්න සිද්ද වුණාට.මං ගොඩාක් සතුටු වුණා පුතේ ඔයා ඉස්කෝලෙ සුහද හමුවට එන බව දැනගත්තම.ඒත් මට ඇඳෙන් නැගිටින්නවත් බෑ.ඒ නිසා ඔයාව බලන්න එන්න බැරි වෙයි. මට සමාවෙන්න, ඔයා ටික ටික ලොකු මහත් වෙනකොට ඔයාව නිතරම අපහසුතාවයට පත් කළාට. ඔයාට ලැජ්ජා කළාට.... ඔයා ගොඩාක් පුංචි කාලෙ අනතුරක් වෙලා ඔයාගෙ එක ඇහැක් නැතිවුණා පුතේ.අම්මා කෙනෙක් විදියට මට ඒක බලන් ඉන්න බැරි වුණා.ඒ හින්දා මං මගේ ඇහැ ඔයාට දුන්නා.ඒ ගැන හිතලා මං ගොඩාක් ආඩම්බර වුණා පුතේ.මොකද මගේ ඇහෙන් පුතා අලුත් ලෝකයක් දැකපු හින්දා.. හැමදාම මගේ ආදරේ ඔයාටයි මගෙ පුතේ. ඔයාගෙ අම්මා කවදාවත් ඔයා එක්ක තරහා නෑ.
මේ,
 ඔයාගෙ අම්මා